සූරියකාන්ත

දේශගුණික අවශ්‍යයතා

          වසරේ ඕනෑම කාලයක වගා කල හැකි බෝගයක් වුවත් මල් පරාගණයට ආධාර වන මී මැස්සන් වැනි කෘමීන්ගේ ගහනය වැඩි කාලවල මල් පිපෙන ආකාරයට වගා කිරීම මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.ශ්‍රී ලංකාවේ වියළි කලාපීය තත්වයන් යටතේ මාර්තු - අගෝස්තු අතර කාලයේදී සහ මහ කන්නයේ තද වැසි අවසන් වූ පසු දෙසැම්බර් - ජනවාරී කාලයේදී වගාව ආරම්භ කිරීම වඩා සුදුසු බව සොයා ගෙන තිබේ.මල් පිපීම සිදුවන අවස්ථාවේදී තද වර්ෂාව නොපැවතීම ද පසෙහි මනා තෙතමනයක් පැවතීම ද වැඩි බීජ අස්වැන්නක් සඳහා බෙහෙවින් වැදගත් වේ.

පාංශු අවශ්‍යතා  

ඉතා සැහැල්ලු වයනයක් සහිත වැලි සහිත පස්වල මෙන්ම ඉතා තද ස්වභාවයක් ඇති මැටි අධික පස් වලද සූරියකාන්ත වගා කල හැකි.එහෙත් ආම්ලිකතාව අධික ජලවහනය දුර්වල පසක් සහිත ඉඩම් මෙම වගාව සඳහා එතරම් යෝග්‍ය නොවේ.

බිම් සකස් කිරීම

ඉඩම හොඳින් සී සෑමෙන් පසු කැට පොඩි කර ගන්න.ඉන් පසුව වගාවට ජලය සම්පාදනය කිරීම සඳහාත් වැඩි ජලය වගාවෙන් ඉවත් කර ගැනීම සඳහාත් අවශ්‍ය පරිදි කානු සකසා ගන්න.

බෝගයේ වයස දින 105-120

ප්‍රභේද

මෑතකදී ඇති වූ ඉල්ලීම නිසා සූරියකාන්ත පිලිබඳ පර්යේෂන කටයුතු ආරම්භ කර වගාව සඳහා සුදුසු ප්‍රභේද කිහිපයක් හඳුනාගෙන තිබේ.නමුත් මෙම ප්‍රභේද තවම වගාව සඳහා නිර්දේශ කර නැත.

1.විවෘත පරාගී ප්‍රභේද

විවෘත පරාගී ප්‍රභේද වල බීජ නිෂ්පාදනය කිරීම පහසුය.මෙහි අඩු තෙල් ප්‍රමාණයක් (25%-35%) ඇති අතර කෘත්‍රීමව පරාගනය නොකල හොත් 30% ක පමණ බොල් බීජ ප්‍රතිශතයක් ඇති වේ.විවෘත පරාගී ප්‍රභේද අතරින් ස්පේන ප්‍රචලිත ප්‍රභේදයක් වන අතර මෙය ලගදීම නිර්දේශ කිරීමට බලාපොරොත්තු වේ.මීට අමතරව CO2 හා සන්ෆෝලා යන ප්‍රභේද 2 ද පරීක්ෂාවට ලක් කරමින් පවතී.

2.දෙමුහුම් ප්‍රභේද

මෙහි බීජ අස්වැන්න වැඩි අතර තෙල් ප්‍රතිශතයද (50%) වැඩිය.බොල් බීජ ඉතා අඩු ප්‍රතිශතයක්(10%) ඇත.මෙහි අවාසිය වන්නේ මෙහි මිල අධික වීමයි.සාමාන්‍ය තත්වය යටතේ මෙම බීජ නිෂ්පාදනය කිරීමද අපහසුය.දැනට මෙම බීජ ශ්‍රී ලංකාවේ නිපද වන්නේ නැත.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කි.ග්‍රෑම් 13-16 (අක්කරයට කි.ග්‍රෑ 5-6)

පරතරය

පේලි අතර -සෙ.මී.60

පැල අතර -සෙ.මී.25

එක තැනක එක පැලය බැගින් ඉතිරි වන පරිදි සති දෙකකදී වැඩි පැල ගලවා ඉවත් කරන්න.

පොහොර නිර්දේශය

මූලික පොහොර

බීජ සිටුවීමය පෙර පසට කවළම් කරන්න

යූරියා                             -50 කි.ග්‍රෑ./හෙ

සාන්ද්‍ර සුපර් පොස්පේට්           -120 කි.ග්‍රෑ./හෙ

මියුරියේට් ඔෆ් පොටෑෂ්           -60 කි.ග්‍රෑ./හෙ

මතුපිට පොහොර බීජ පැලවී සති 4 කදී හා 8 කදී යූරියා හෙක්ටයාරයකට කි.ග්‍රෑ.50 බැගින් යොදන්න.

ජල සම්පාදනය

ජලය හිගවීම කෙරෙහි ඉතා සංවේදී අවස්ථාව නම් මල් සෑදෙන අවදියයි.එනම් බීජ පැල වී සති 7 -8 දක්වා අතර කාලයි.මෙම කාලය තුළදී බෝගයේ සීඝ්‍ර වර්ධනයක් පවතින නිසා සතියකට වරක් සම්පාදනය කිරීම ඉතා යෝග්‍ය වේ.මල් හට ගන්නා කාලය තුලදී ඇතිවන ජල ඌනතාවය නිසා බොල් බීජ ප්‍රතිශතය වැඩි වන බැවින් අස්වැන්න අඩු වේ.

කෘත්‍රීම පරාගනය

පිපුණ පුෂ්පය රෙදි කැබැල්ලකින් ඇතිල්ලීමෙන් කෘත්‍රීම පරාගනය දවසක් හැර දවසක් කළ යුතුය.මෙලෙස කෘත්‍රීම පරාගනය දවසක් හැර දවසක් දින 0-14 දක්වා කිරීමෙන් අස්වැන්න වැඩි කර ගත හැකිය.

වල් මර්ධනය

පළමු මාසය තුළ වල්වලින් තොරව වගාව නඩත්තු කල යුතුය.වගාවේ වයස සති 2 ක් ගත වු පසුව එක් වතාවක් වල් මර්ධනය ප්‍රමාණවත් ය.

කෘමි හානි

   කෘමි හානි ඉතා අඩු නමුත් සූරියකාන්ත සළඹයා නිසා බීජ වලට හානි ඇතිවිය හැක.

රෝග හානි

මෙම බෝගයට රෝගවලින් වියහැකි හානිය ඉතා අඩුයි.පහත රෝග විටෙක වැළදේ.

ෆෝමා කඳ කළුවීමේ රෝගය

පහළ පත්‍ර නටුව කඳ සහ පුෂ්පයෙහි කුඩා කහ පැහැති වියළි ලප දක්නට ලැබේ.හානිය උග්‍ර විට ශාකය ඇද වැටී මැරී යයි.මෙය දීලීරයක් මගින් ඇති වේ.

පාලනය බෝග අවශේෂ විනිශ කිරීම.දෙසැම්බර් අග -ජනවාරි යන කාලවල වගා කිරීමෙන් රෝගය පාලනය කරගත යැක.

පාදස්ථ කුණු වීම.

  • ශාකයේ පාදස්ථ කොටසෙහි දුසු පැහැති දිලීර ජාල දක්නට ඇත.
  • ශාකය මැලවීම සිඳුවේ.
  • දිලීරයක් මගින් ඇති වේ.
  • ජලවහනය දියුණු කිරීමෙන් රෝගය පාලනය කර ගත හැක.

 

අස්වනු නෙලීම

පුෂ්ප මංජරියේ බීජ හොඳින් පිරීමෙන් පසුව මලෙහි පිට පැත්ත කහ පැහැයට හැරී මල් පෙති වියළී ගිය විට මල් නෙලා ගත යුතුය.මෙම මල් පසුව හොඳින් අව්වේ වියලා බීජ හැලීයාමට පෙර මල් කපා ගන්න.

අස්වැන්න

වර්ෂා පෝෂිත තත්ව යටතේ

1000-1100 කි.ග්‍රෑ./හෙක්

වාරි ජලය යටතේ 1500-2000 කි.ග්‍රෑ./හෙක්

පසු අස්වනු ක්‍රියාවන්

පළමුව බීජවල කළු පැහැති පොත්ත ඉවත් කළ යුතුය.තෙල් කි.ග්‍රෑ. 50 ක් ලබා ගැනීමට බීජ කි.ග්‍රෑ.150 ක් අවශ්‍ය වේ.තෙල් ලබාගෙන ඉතිරි වන අවශේෂ පුන්නක්කු ලෙස සත්ව ආහාරයට ගැනේ.

බීජ ගබඩා කිරීමට පෙර හොඳින් වියළා තෙතමනය 10% පමණ දක්වා අඩු කර ගත යුතුය.

වෙළඳපොල

දැනට මෙම බෝගය ගොවීන් යට හඳුන්වා දෙමින් පවතින අවධියේ ඇති නිසා බීජ මිල දී ගැනීම හා තෙල් නිස්සාරණය වැනි කටයුතු එතරම් සංවිධාන මට්ටමකින් සිදු නොවේ.