තෝර පරිප්පු


හැදින්වීම

ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාප වල ජල හිගය නිසා විශාල ඉඩම් ප්‍රමාණයක් (ගොඩ හා මඩ) වාර්ෂිකව පුරන්ව පවතී. ලැබෙන සුළු වර්ෂාපතනයෙන් වගා කරන බෝග ද බොහෝ විට අනපේක්ෂිත නියග නිසා පාළු වේ. මෙවැනි පසුබිමක් තුළ නියගයට ඔරොත්තු දෙන විකල්ප බෝගයක අවශ්‍යතාව බොහෝ කලක සිට හදුනාගෙන තිබුණි. තෝර පරිප්පු මෙවැනි ජල හිඟ තත්ව වලට උච්ත වර්ෂාපෝෂිත තත්ව යටතේ මහ කන්නයේදී නිසරු ගොඩ ඉඩම් වල ද, යල කන්නයේදී සීමිත ජල ප්‍රමාණයක් ලැබෙන කුඹුරු වලද සාර්ථකව වගා කළ හැකි බෝගයකි. ඉතා ගැඹුරට විහිදෙන මූල පද්ධතියක් ඇති මෙම බෝගය රනික කුලයට අයත්වන බැවින්, පස සරු කිරීමේ හැකියාවක් ද මෙයට ඇත. භාවිතා කළ යුතු පොහොර ප්‍රමාණය අනෙකුත් බෝග හා සැසදීමේදී ඉතා අඩු වන අතර, මහ කන්නයේදී අස්වනු නෙලීමෙන් පසු යල කන්නයේදී නිරි වගාවෙන් අමතර ආදායමක්ද ලබාතග හැක.


අපේ දෛනික ආහාර වේලේ ජනප්‍රියතම අංගයක් වන මසූර් පරිප්පු ලංකාවේ දේශගුණ තත්ත්ව යටතේ වගා කළ නොහැකි බැවින් වාර්ෂිකව රුපියල් මිලියන 2000ක පමණ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කොට ආනයනය කරනු ලැබේ. මසූර් පරිප්පු වලට ආසන්නතම ආදේශකයක් ලෙස තෝර පරිප්පු හදුනාගෙන තිබේ. එය ලංකාවේ දේශගුණීක තත්ත්ව යටතේ පහසුවෙන් වගා කළ හැකි බෝගයකි.

දේශගුණික අවශ්‍යතා

අනෙකුත් රනිල බෝගවලට මෙන්ම තෝර පරිප්පු වලටද වර්ධනය සිදුවන අවධියේ හා පුෂ්ප පිපී කරල් ඇතිවන සමයේ පසේ තෙතමනය අතිශයින් වැදගත් වේ. එසේම අස්වනු නෙලන අවධියේදී වියළී කාළගුණයක් පැවතීමෙන් පෙර අස්වනු හානි බොහෝදුරට අඩු කරගත හැකි වේ. ලංකාවේ වියලි හා අතරමැදි කලාප වල, යල හා මහ කන්න වලට මෙයට අනුරූපවූ දේශගුණීක තත්ත්වයක් පවතින බැවින් වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ තෝර පරිප්පු වගාව ගැටළුවකින් තොරව කිරීමට අවස්ථාව ඇත. මීට අමතරව පුරන්වන කුඹුරුවල යල කන්නයේදී ඉතා අඩු ජල සැපයුමක් සහිත තෝර පරිප්පු වගා කළ හැක.

පස

පසේ සරු බව අඩු ආන්තික ඉඩම්වල වගාකළ හැකි තෝර පරිප්පු, මහ කන්නයේදී ජල වහනය හොදින් සිදුවන රතු - දුඹුරු පසේත්, ජල වහනය සතුටුදායක නොවන පස් වල යල කන්නයේදීත් හොදින් වගා කළ හැක. නැගෙනහිර පළාත් වල පවතින චූර්ණමය නොවන දුඹුරු පසත්, උතුරු කරයේ රතු කහ ලැටසෝල් පසත්, තෝර පරිප්පු වගාවට සුදුසු වේ. ඉතා පුළුල් පාංශු පී. එච්. පරාසයක් ( 5 - 8.5) සහිත පස්වල වුවද තෝර පරිප්පු වගා කළ හැක.

බිම් සැකසීම

අනෙකුත් බෝග වලට මෙන් සියුම් බිම් සැකැස්මක් අවශ්‍ය නොවේ. කෙසේ වුවද වල් මර්ධනයේ පහසුව සදහා බීජ සිටුවීම පහසු කරණු සදහා වරක් සී සෑම සිදුකොට පසුව කැට පොඩිවන පරිදි පස සකසා ගත හැකිය. ඉපනැල්ලට සිටුවන විට උදැල්ලකින් සකසා ගත් නොගැඹුරු කාණුවක නිසි පරතරයට බීජ සිටුවීමද කළ හැක. ජල වහනය දුර්වල ස්ථානයවල තෝර පරිප්පු වගාව අසාර්ථක වන බැවින් හොදින් ජලය බැස යනසේ ක්ෂේත්‍රය සකස් කළ යුතුය.

නිර්දේශීත ප්‍රභේද


ප්‍රසාද ( අයි. සී. පී. එල්. - 2)

මෙම වර්ගයේ පාර්ශ්වික අංකුරවල මල් හටගන්නා බැවින්ද, වර්ධක වර්ධනය පුෂ්ප පිපීමත් සමග නතර නොවන බැවින්ද, අපරිමිත වර්ධනයක් දක්වන ප්‍රභේදයක් ලෙස එය සැකකේ. අයත්වේ. වර්ධක වර්ධනය දිගටම සිදුවන නිසා ශාකය මීටර් 2 - 2.5 පමණ උසකට වැඩේ. මෙම වර්ගය මාස 4 - 4  පමණ කාලයකදී අස්වනු ලබා දේ. බීජ රතු දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර, පියලි දීප්තිමත් කහ පැහැයක් ගනී.

බීජ සිටුවිය යුතු කාලය

මහ කන්නයේ ඔක්තෝබර් අග සතියේ සිට නොවැම්බර් දෙවැනි සතිය දක්වා බීජ සිටුවන්න. කෙසේ වුවද පහතරට අතරමැදි කලාපයේ බීජ සිටුවීම නොවැම්බර් මස මැද භාගයේදී සිදු කිරීම වඩාත් යෝග්‍යය. තෝර පරිප්පු දුර්වල ජලවහනය තත්ත්ව වලට ඉතා සංවේදි බැවින් නොකඩවා පවතින වැසි කාල මහ හැර බීජ සිටුවීම හා දුර්වල ජලවහන තත්ත්ව වලදි ජලවහන තත්වය දියුණු කිරිම වැදගත්ය.

බීජ අවශ්‍යතාවය

සාමාන්‍යයෙන්හෙක්ටයාර් 1 ක් වගා කිරීම සදහා බීජ කිලෝ ග්‍රෑම් 25 ක් ( අක්කරයකට කිලෝ ග්‍රෑම් 10 ක්) අවශ්‍ය වේ.

පරතරය

පේලි අතර සෙන්ටි මීටර් 45 යි. (අගල් 18) හා පේලිය තුල සෙන්ටි මීටර් 10 ක් (අගල් 4 ක්) පරතරයකට එක් ස්ථානයක බීජ දෙකක් සෙන්ටි මීටර 2 - 3 ගැඹුරට සිටුවන්න. සිටුවා සති දෙකකින් එක් ස්ථානයක තනි පැලයක් ඉතිරි වන සේ පැල තුනී කළ යුතුය. වඩා යෝග්‍ය ඉහත සදහන් පරතරය වුවද අයි.සී.පී.එල්. 2 වැනි ප්‍රභේද සදහා වැඩි පරතරයක් (පේලි අතර සෙන්ටි මීටර 60 (අගල් 24) හා පේලිය තුල සෙන්ටි මීටර් 10 (අගල් 4) භාවිතා කළ හැක. පළිබෝධ නාශක ඉසීමේ පහසුව සදහා සෑම පේලි 06 ක් අතර වැඩි පරතරයක් ලබාදී භූමිය අපතේ යෑම වලක්වා ගැනීම සදහා රටකජු වැනි වෙනත් රනිල බෝගයක් එම වැඩි පරතරය ලබාදුන් ස්ථාන වල වගා කළ හැක.

පොහොර යෙදිම

නිර්දේශිත පොහොර ප්‍රමාණ භාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක.

යෙදිය යුතු කාලය

යූරියා හෙ./ කි.ග්‍රෑ

ත්‍රිත්ව සුපර් පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ

මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ

මුලිකපොහොර

35

100

75

මල් පිපීමත් සමඟ

30

-

-


මල් පිපෙන අවස්ථාවේදී (දින 60 කදී පමණ) වගාව සරුවට වැඩී නොමැති යයි හැගෙන්නේ නම් හෙක්ටයාර් එකකට යූරියා කිලෝ ග්‍රෑම් 30 ක් පමණ යොදන්න.

වල් පලෑටි පාලනය

මුල් දින 45 තුළදී බෝගයේ වර්ධනය සෙමින් සිදුවන බැවින් වරක් හෝ දෙවරක් වල් මර්ධනය කිරීම මගින් අස්වනු හානිය අඩු කර ගත හැක.

පළිබෝධ පාලනය

තෝර පරප්පු වගාවට කෘමි පළිබෝධකයන් කිහිප දෙනෙකුගෙන්ම බලවත් හානි පැමිණේ. මේ අතුරින් වඩා වැදගත් වනුයේ මල් කිනිති හා මල් කන දළඹුවා, කරල් විදින දළඹුවා හා කරල් විදින මැස්සාය. ඒ නිසා නියමිත අවස්ථාවේ දී පළිබෝධකයන් පාලනය නොකළහොත් සතුටුදායක අස්වැන්නක් ලබාගත නොහැකි වේ. සිටුවා දින 65 කින් පමණ මල් පිපීම සිදුවේ. පළමු වරට කෘමි නාශක යෙදීම වගාවෙන් 25 % මල් පිපීම සිදු වූ විට කළ යුතුය.

නිර්දේශිත කෘමි නාශක

කෘමි නාශකය

යොදන ප්‍රමාණය හෙ./මි.ලී

සාන්ද්‍රණය ජලය ලී. 1 ට මි.ලී. / ලී.

2 හා 3 යෙදීම
තයෝඩිකාබ් 375 ඒෆ්

1000 - 1200

22 - 27

එතොෆෙන්ප්‍රොක්ස්
10 ඊසී හෝ

750 - 800

1.7 - 1.8


පළමු යෙදීමෙන් දින 10 - 12 කට පසුව දෙවන යෙදීමත්, එයට දින 10 - 12 ඉන් පසුව තෙවන යෙදීමත් කළ හැකිය. මද වැසි අකණ්ඩව පවතින දෙසැම්බර් මස අඅවසාන භාගය තුළ මල් පිපීම සිදු නොවන පරිදි වගාව ආරම්භ කිරීමද කාර්යක්ෂම ලෙස කෘමිනාශක භාවිතා කිරීමෙහිලා වැදගත් වේ.

ගබඩාවේදී තෝර පරිප්පුවලට හානි පමුණුවන කවුපි ගුල්ලාද ඉතා හානි දායක පළිබෝධකයෙකි.