මුං


හැදින්වීම

අප රටේ ජනප්‍රිය කෙටි කාලීන රන්ල බෝගයකි. බීජ වල 24% පමණ ප්‍රෝටීන් අඩංගුය. එයට අමතරව එහි වැදගත් ඛණිජ ලවණ හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ රාශියක්ද අඩංගුය. ඒනිසා මුං, පෝෂ්‍ය ගුණයෙන් වැඩි ආහාරක් ලෙස සැලකේ.

දේශගුණික අවශ්‍යතා

කරල් මෝරන සහ අස්වනු නෙලන අවධියේදී වියළි කාළගුණික තත්ත්වයක් තිබිය යුතුය. නමුත් වගාව ආරම්භයේ සිට මල් හට ගැනීම දක්වා මනා පාංශූ තෙතමනයක් පැවතීම සාර්ථක වගාවකට හෝතු වේ. අප රටේ පහතරට වියළි හා අතර මැද කලාප වල මුං බෝගය සදහා යෝග්‍ය පරිසර තත්ත්ව පවතී.

පස

සැහැල්ලු වැලි පස්වල මෙන්ම මැටි අධික පස් වලද මුං වගාකළ හැකිය. නමුත් මැටි අධික පස් වල වගාකරන විට ඉඩමේ ජලවහනය දියුණු වන පරිදි පාත්ති හා කාණු යොදා බිම් සකසාගත යුතුය.

බිම් සැකසීම

පස පෙරලා කැට පොඩිකර ගන්න. ජල වහනය සතුටු දායක ඉඩම් වල සමතලා බිමෙහි මුං සිටුවිය හැකිය. ජල සම්පාදනය යටතේ හෝ පසෙහි ජලය රදා පැවතීමේ අවදානමක් පවතින විට හෝ උස් පාත්ති, වැටි කාණු වැනි අන්දමකට බිම් සකසා ගන්න.

නිර්දේශිත ප්‍රභේද

එම්.අයි. 5

විශාල බීජ සහිතය. බීජ කොළ පාටය. දින 65 - 70 දි අස්වැන්න නෙලාගත හැකිය. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1250 පමණ වේ.

හර්ෂ

කහ කොළ පැහැති කුඩා බීජ සහිත දින 55 - 60 දී අස්වනු නෙලාගත හැකි ප්‍රභේදයකි. කෙටි කාලීන ප්‍රභේදයක් නිසා අතරමැද කන්නයේ වගාව සදහා සුදුසුය. කහවන් විචිත්‍ර වෛරස් රෝගයට ඔරොත්තු දේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරකින් කිලෝ ග්‍රෑම් 1000 පමණ වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරකින් කිලෝ ග්‍රෑම් 30

සිටුවීමේ කාලය

මහ කන්නයේදී නොවැම්බර් මැදදී සිටුවන්න. එවිට ජනවාරි මස අවසානයට පෙර අස්වනු නෙලා ගත හැකිය.

යල කන්නයේදී අහස් දියෙන් වගා කරනවිට අප්‍රේල් මුල ලැබෙන වර්ෂාව සමග සිටුවන්න. එවිට ජුලි මස මැද භාගයේදී පමණ අස්වනු නෙලාගත හැකිය. යල කන්නයේදී ප්‍රමාදවී වගා කරනවිට කහ වන් විච්ත්‍ර වෛරස් රෝගය හටගැනීමේ අවදානම වැඩිය.

අතරමැද කන්නයේදී මුං වගා කරන්නේ කුඹුරුවල ඉතිරිවී ඇති පාංශු තෙතමනය ප්‍රයෝජනයට ගැනීමෙනි. ඉපනැල්ල තිබියදීම, අවම බීජ සැකසීමක් යටතේ හර්ෂ වැනි කෙටි කාලීන ප්‍රභේද මේ අන්දමට වගා කළ හැකිය.

පරතරය

පේලි අතර සෙන්ටි මීටර් 40 ද පේලිය තුල පැල අතර සෙන්ටි මීටර් 8 පමණ ද පරතරයක් තබන්න. එක් ස්ථානයක එක් පැලයක් බැගින් පවතින පරිදි වැඩි පැල ගලවා දමන්න.

පොහොර යෙදීම

බෝගයේ පෝෂක අවශ්‍යතාවය
N - හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 30
P2 O5 -හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම 45
K2O -හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම 45

යෙදිය යුතු කාලය

යූරියා හෙ./ කි. ග්‍රෑ     

ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙ./කි.ග්‍රෑ.

මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./කි.ග්‍රෑ                 

මුලික පොහොර

35

100

75

මල් හටගන්නා අවස්ථාවේදී

30

-

-


ජල සම්පාදනය

පළමු සති 3 දී දින 4 කට වරක් බැගින්ද ඉන්පසුව දින 7 කට වරක් බැගින්ද වගාවට ජලය සපයන්න. කෙසේ වුවද පාංශු තෙතමනය පරීක්ෂාකර අවශ්‍ය අවස්ථාවලදී පමණක් ජලය සැපයීම වැදගත්ය.

වල් පැල පාලනය

බෝගයේ මුල් කාලයේදී වැල් පැල පාලනය පිළිබදව විශේෂයෙන් සැලකිලිමත් වන්න.

කෘමි පාලනය

බෝංච් මැස්සා හා කරල් විදින දළඹුවන් නිසා වගාවට හානි ඇතිවිය හැකිය. විශේෂයෙන් යල් කන්නයේ ප්‍රමාදවී වගා කළ විට බෝංච් මැස්සාගේ හානිය දරුණු වේ. කෘමි හානි දරුණු මට්ටමක පවතී නම් නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න.

රෝග පාලනය

තෙත් කාලගුණික තත්වවලදී සර්කස්පෝරා පත්‍ර පුල්ලි රෝගය හා පිටිපුස් රෝගය බහුලව වගාවට වැලදිය හැකිය. මේ සදහා නිර්දේශිත දිලීර නාශකයක් භාවිතා කරන්න.

කහවන් විච්ත්‍ර වෛරස් රෝගය බොහෝ විට වැළදෙන්නේ යල් කන්නයේදී ප්‍රමාදවී වගා කල විටය. රෝගී ගස් දුටු විගස ගලවා විනාශකර දමන්න. නිසි කන්නයට වගා කිරීම හා හර්ෂ වැනි රෝගයට ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීමෙන් මෙම තත්වය වලකාගත හැකිය.

අස්වනු නෙලීම

කරල් කළුපාටවු විට වරින්වර අවස්ථා කිහිපයකදී අස්වනු නෙලා ගන්න.

අස්වැන්න

හොදින් නඩත්තු කළ වගාවකින් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1100 - 1300 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න සැකසීම

බීජ පිරිසිදු කර හොදින් වියළා, ගබඩාකර තබා ගන්න. වියළි දෙහි හෝ කොහොඹ කොළ, බීජ සමග මිශ්‍රකර ගබඩා කිරීමෙන් ගුල්ලාගේ හානිය අඩු වේ.