සෝයා බෝංචි

ඉතිහාසය හා සම්භවය

නැගෙනහිර ආසියාවට ආවේණික බෝගයක් ලෙස හැඳින්වේ.

1970 අග භාගයේ සෝයා බෝංචි වගාව පිළිබඳව විශාල උනන්දුවක් තිබුණද පසුකාලීනව එය ක්‍රමයෙන් අඩු විය. නමුත් 2003 / 2004 වසරවල සිට නැවත මේ වගාව සඳහා විශාල වෙළඳපලක් සැකසෙමින් පවතී.

සෝයා බෝංචිවලටම විශේෂිත වූ පෝෂණ ගුණය හා මිනිස් හා සත්ව ආහාර පිළියෙල කිරීම්වලදී යොදා ගතහැකි වීම වැනි ප්‍රයෝජන රාශියක් ලබාගත හැකි


එයටම විශේෂිත වූ පෝෂ්‍ය ගුණය,ප්‍රයෝජන රාශියක් ලබාගත හැකිවීම සහ වැදගත් මිනිස් හා සත්ව ආහාරයක් වීම වැනි කරුණූ අතින් සෝයා බෝංච් වලට විශේෂ ස්ථානයක් හිම්වේ. එහි 40% පමණ ප්‍රෝටීන් ද, කාබෝහයිඩ්‍රේට් 37% හා විටමින් හා ඛණිජ 7% පමණද අඩංගුය. මෙයට අමතරව එහි ඇති අසංතෘප්ත මේද අම්ල ප්‍රමාණය 20% කි.

වගාව සදහා වඩා සුදුසු වන්නේ අප ‍රටේ පහත රට වියළි හා අතරමැද කලාප වලට අයත් ප්‍රදේශ වේ. වගාව සාර්ථක වීම සදහා කරල් මෝරන අවධියේ සිට අස්වු නෙලීම දක්වා වියළි කාළගුණික තත්වයක් පැවතිය යුතුය. හොදින් ජල වහනය වන උඩරට හා මැදරට ප්‍රදේශවල පිහිටි උස් බිම් වලද මෙම වගාව සාර්ථකව කළ හැකිය.

පස
හොදින් ජලය බැස යන පසක් වගාව සදහා තිබිය යුතුය. එහි පී.එච් අගය 6.0 - 6.5 වීම වඩා යෝග්‍යය.

නිර්දේශිත ප්‍රභේද


පී.බී. 1
ඉන්දියාවෙන් හඳුන්වා දුන් වර්ගයක් වන අතර නැන්කිනී නම් වර්ගයෙන් වර්ණය කර ලබාගත් ප්‍රභේදයකි. සෘජු වර්ධන විලාශයක් ඇත. ශාකයේ උස සෙ.මි. 50-60ක් වේ. සිටුවා දින 25-35කින් මල් හටගැනීම සිදුවේ. මල් දම් පැහැයෙන් යුක්තය.

කරල් කහ පැහැයට හුරු දුඹුරු පාටය. බීජ ක්‍රීම් පාටය. බීජ ලපය ලා කහපාටය. මධ්‍යම ප්‍රමාණයේ බීජ ඇත. බීජ 1000ක බර ග්‍රෑම් 120 - 150ක් පමණ වේ.




පී.එම්. 13

1989 දී හඳුන්වා දුන් ප්‍රභේදයකි. මෙයද බොහෝ දුරට P.B 1 ට සමාන වේ. සෘජු වර්ධන විලාශයක් ඇති අතර ශාකය සෙන්ටිමීටර් 50-60ක් උසට වැඬේ සිටුවා දින 30-35කට පසු මල් හටගැනීම සිදුවේ.

මල් දම් පැහැතිය. කරල් කහ පාටට හුරු දුඹුරු පාටය. බීජ ක්‍රීම් පැහැතිය. බීජ ලපය ලා කහ පැහැතිය. මධ්‍යම ප්‍රමාණයේ බීජ වේ. බීජ 1000ක බර ග්‍රෑම් 120-150ක් වේ.

පී.එම්. 25

මෙය 1989 දී හඳුන්වා දුන් ප්‍රභේදයකි. සෘජු වර්ධන විලාශයක් ඇති අතර සෙන්ටිමීටර් 70-80ක් පමණ උසට වැඬේ මල් හට ගැනීම සිටුවා දින 35-45කට පසුව සිදුවේ.

මල් දම් පැහැතිය. අස්වනු නෙලීම සිටුවා දින 95-100කට පසුව කළ හැකිය. කරල් කහ පැහැයට හුරු දුඹුරු පාටය. සියුම් බූවක් ඇත. බීජ ක්‍රීම් පාටය.බීජ වල ජීව්‍යතාවය මාස 6 පමණ කාලක් ආරක්ෂා කරගත හැකිය.


බොසියර්

දින 90 - 95 වු මධ්‍යම ප්‍රමාණයේ බීජ සහිත වර්ගයකි.

බීජ අවශ්‍යතාවය
සිටුවීමට උසස් ගුණාත්මයේ සහ පැළවීමේ ශක්තිය 85% කට නොඅඩු බීජ කිලෝ ග්රෑම් 50 - 55 අවශ්‍යය.

බිම් සැකසීම

අනෙකුත් බොහෝ බෝගයන්ගේ මෙන්ම සෝයා බෝංචිවල අස්වැන්න වැඩි කර ගැනීම සඳහා පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්‍ය.

-ඒකක ක්ෙෂ්ත්‍රයක පැළ ගණන

-ගසක ඇති කරල් ගණන

-කරලක ඇති බීජ ගණන

-බීජයක බර

ඉහත කරුණු සපුරා ගැනීම සඳහා ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම නිසි ලෙස අනුගමනය කිරීම අවශ්‍ය වේ.



සෙන්ටි මීටර් 15 - 20 ගැඹුරට ඉඩමේ පස පෙරළා හොදින් කැට පොඩිකර ගන්න. තද වර්ෂාව නිසා වගාව තුළ ජලය රදා පැවතීමේ අවදානමක් තිබේ නම්, උස් පාත්ති සකසන්න. ජල සම්පාදනය යටතේ වගා කරන්නේ නම්, විශේෂයෙන් කුඹුරු ඉඩම්වල, එකිනෙකට සෙන්ටි මීටර් 40 - 50 දුරකින් වැට සකසා ගන්න.

බීජ සිටුවීම සහ පරතරය
සෙන්ටි මීටර් 40 x 5

එකිනෙකට සෙන්ටි මීටර් 40 පමණ දුරකින් වූ පේලි දිගේ පේලිය තුල සෙන්ටි මීටර් 5ක පරතරය ඇතිව බීජ සිටුවන්න. බීජ සෙන්ටි මීටර් 3 පමණ පසට යට කරන්න. ජල සම්පාදනය යටතේ උස් පාත්තිවල වගාකරන විට එක පාත්තියක බෝග පේලි 2 - 3 පමණක් පවත්වා ගන්න.

බීජ ප්‍රතිකාර කිරීම
සෝයා බෝංච් බෝගයේ මුල් වලින් වායුගෝලයේ නයිට්‍රජන් තිර කිරීම සිදුවන්නේ රයිසෝබියම් ජැපොතිකම් නම් බැක්ටීරියාව මගිනි. ස්වභාවිකව පසේ නොපවතීනම් සිටුවන බීජ සමග එය පසට ලබාදිය යුතුය. මෙම බැක්ටීරියාව අඩංගු මාධ්‍යය (ආමුකූලකය) ප්‍රයෝජනයට ගන්නා තෙක් ශීතකරණයක ගබඩා කර තබා ගත යුතුය.

මෙම බැක්ටීරියා අඩංගු මාධ්‍යය ප්‍රධාන ආකාර දෙකකට, සිටුවන බීජ සමග මිශ්‍ර කළ හැකිය.

හෙක්ටයාරයකට සිටුවීම සදහා අවශ්‍ය බීජ ප්‍රමාණය (කි.ග්රෑම. 50 පමණ) පොළොවෙහි ගොඩ ගසා පසට ජලය කෝප්ප 2ක් ඉස, තෙත් කරන්න. ඉන්පසු, තෙත්වු මෙම බීජ වලට බැක්ටීරියා මාධ්‍යයෙන් ග්රෑම් 250 හොදින් කළවම් කරන්න.

දෙවන ක්‍රමයේදී බැක්ටීරියා මාධ්‍යයෙන් ග්රෑම් 250 ගෙන එය ජලය කෝප්ප දෙකක් සමග හොදින් මිශ්‍රකර තලපයක් ආකාරයට සාදා ගන්න. ඉන්පසු මෙම ම්ශ්‍රණය හෙක්ටයාරයකට අවශ්‍ය බීජ ප්‍රමාණය සමග හොදින් කළවම් කරන්න.

බැක්ටීරියා මාධ්‍යය කළවම් කර ගත් බීජ හැකි ඉක්මණින් ‍තෙත් පොළවෙහි සිටුවිය යුතුය. එසේම එවැනි බීජ තද සූර්යාලෝකයට හෝ වියළීමට හෝ ඉඩ නොතැබිය යුතුය.

පොහොර යෙදීම

යෙදිය යුතු කාලය යූරියා හෙ./ කි.ග්රෑ ත්රියත්ව සුපර් පොස්පේට්
හෙ./ කි.ග්රෑග මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්රෑග
මුලිකපොහොර 50 150 75
මල් හටගැනීමේදී 100 - -

බෝගයේ මූල ගැටිති හොදින් වර්ධනය වී තිබේ නම් මල් හටගැනීමේදී යෙදිය යුත්තේ යුරියා කිලෝ ග්රෑේම් 50 පමණකි.

ජල සම්පාදනය
බීජ පිරීම සිදුවන අවස්ථාවේදී බෝගයට ජල හිගයක් ඇති වුවහොත් අස්වැන්න අඩු වීමට අමතරව බීජ වල පැලවීමේ ශක්තියද දුර්වල වේ. එසේම ගබඩාකර තබාගත හැකි කාලයද අඩු වේ.

සෝයා බෝංච් වගාවක් සදහා හෙක්ටයාර් සෙන්ටි මීටර් 70 පමණ ජලය අවශ්‍යය. වගාවේ පළමුවන මාසය තුලදී දින 4 කට වරක් බැගින් ද, ඉන් පසුව දින 6 - 7 වරක් බැගින්ද ජලය සපයන්න. අස්වනු නෙලීමට සති 3 කට පමණ පෙර ජල සැපයුම නවත්වන්න. පසෙහි පවතින තෙතමන ප්‍රමාණය පරීක්ෂාකර බලා, අවශ්‍යය අවස්ථාවන්හිදී ජල සම්පාදනය කරන්න.

වල් පැලෑටි පාලනය
පහත සදහන් පූර්ව නිගමන වල් නාශක වර්ගයක් බීජ සිටවු දින පසේ තෙතමනය පවතින විටදී යොදන්න.

ඇලක්ලෝර් 45% ඊ.සී - හෙක්.ලී. 3.3 - 3.5
මෙටලක්ලෝර් 50% ඊ.සී. - හෙක්.ලී. 3.0 - 4.0
ඉන්පසු සති 2 - 3 දී සහ සති 4 - 5 දී ද වගාව උදළුගා වල්පැල ඉවත් කරන්න.

කෘමි පාලනය
පත්‍ර කා දමන හා කරල් වලට හානි කරන දළඹු වර්ග නිසා සමහර වගාවන්ට හානි ඇතිවිය හැකිය. හානිය දරුණු අවස්ථාවලදී නිර්දේශිත කෘමිනාශකයක් යොදන්න.

රෝග පාලනය
බැක්ටීරියා පත්‍ර රෝගය - පත්‍ර අකාලයේ හැලීම නිසා අස්වැන්න අඩු වේ. පත්‍රවල පළමුව ලා කොළ පැහැති පැල්ලම් ඇතිවී පසුව දුඹුරු පාට වේ. මෙම පැල්ලම්වල මැද ප්‍රදේශය කහ පාටය.
ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම මගින් ‍මෙම රෝගය පාලනය කරගත හැකිය.

බීජ දම් පැහැ වීමේ රෝගය
රෝගය වැළදී ඇති ශාක වල බීජ රෝස-දම් පැහැයකට හැරේ. එවැනි බීජ වල බීජ පොත්තෙහි පැලීම් ඇති වේ.

නීරෝගී බීජ වගා කිරීම සහ සිටුවීමට පෙර, දිලීරනාශකයකින් බීජ ප්‍රතිකාර කිරීම මගින් රෝගය පාලනය කරගත හැකිය.

පත්‍ර ලප රෝගය

රෝග කාරකය

-Cercospora Canescens

-Cercospora Cruenta

රෝග ලක්ෂණ

සර්කස්පෝරා කැනෙසන්ස් Cercospora Canescens දිලීරය මගින් රෝගය හටගත් විට අක්‍රමවත් රතු පැහැති ලප පත්‍ර යටි

පැත්තේ ඇතිවේ. සර්කස්පෝරා කෘඑන්ටා (Cercospora Cruenta) දිලීරය මඟින් රෝග පැතිරේ.


පත්‍ර විච්ත්‍ර වෛරස් රෝගයෙ

රෝග වාහකයා

- සුදු මැස්සා (Bemisia tabaci)

රෝග ලක්ෂණ

  • දිප්තිමත් කහ සහ කොල විවිත්‍ර ලක්ෂණ පත්‍ර මත ඇතිවේ.
  • අකරල් බොහෝ විට කහ පාට වන අතර බීජ හැකිලී විකෘති විය හැක.
  • ශාක කුරුවන අතර හරිතක්ෂීය ලක්ෂණ ඇතිවේ.

වගාවේ ඕනෑම අවස්ථාවක ඇති විය හැක.

වගාවේ මුල් අවස්ථාවේදී දරුණු ලෙස මෙම රෝගය වගාවට වැළදුන හොත් අස්වැන්න අඩු වේ. රෝගී ශාක දුටු විගස ගලවා දමන්න. රෝග වාහක සුදු මැස්සා පාලනය කිරීම සදහා කෘමිනාශකයක් භාවිතා කරන්න.


අස්වනු නෙලීම
බෝගයේ කරල් වලින් 95% පමණ දුඹුරු පැහැ වන අවස්ථාවේදී දෑකැත්තකින් ශාකය කපාගෙන අව්වේ වියළා ගන්න. මෙම අවස්ථාවේදී ශාකවල පත්‍ර කහවී හැලී යාමටද පටන් ගනී.

හොදින් වියළා ගත් ශාක, ගෝනියකට දමා ලීයකින් ගසා බීජ වෙන්කර ගන්න. සිටුවීම සදහා බීජ නිපදවා ගන්නා විට බීජ වලට හානි නොවීමට ප්‍රවේසම් වන්න.

අස්වැන්න සැකසීම
කරල් වලින් වෙන් කර ගන්නා අවස්ථාවේදී බීජවල තෙතමනය 18 - 20 % පමණ මට්ටමක පවතී. මෙම තෙතමන ප්‍රමාණය 10 - 12 % මට්ටමක් දක්වා අඩුකර ගැනීමට දින 2 - 3 අව්වේ වියළන්න. බීජ, සිටුවීම සදහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේනම් තෙතමන ප්‍රමාණය 9 % පමණ දක්වා අඩුකර ගත යුතුය.

අව්වේ වියලා ගත් බීජ පැය කිහිපයක් සිසිල් වීමට ඉඩහැර ගෝනිවල අසුරා වියළි සිසිල් ස්ථානයක ගබඩාකර තබන්න.
  • අස්වැන්න නෙලීමට ආසන්න වන විට පත්‍ර කහ පැහැයට හැරී හැලීම සිදු වේ. එමෙන්ම කරල් 95% ක් දුඹුරු පැහැයට හැරි තිබිය යුතුය.
  • දෑකැත්තක් භාවිත කරමින් ගස් කපා ගන්න. හිරු එළියේ හොඳින් වියළා ගෝනියකට දමා පොල්ලක් ආධාරයෙන් තලා ගන්න.
  • බීජ සඳහා යොදා ගන්නේ නම් බීජ තැලීම සිදු නොවන සේ ප්‍රවේශමෙන් බීජ වෙන්කර ගැනීමට වග බලා ගත යුතුය.
  • ලැබිය හැකි අස්වැන්න ජල සම්පාදනය යටතේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 3000ක් පමණ වේ.