මාදං

Order   : Myrtales

  Family  : Myrtaceae

  Genus   : Syzygium P.Br. ex Gaertn

    Species  : Syzygium cumini Skeels.

වෙනත් නම් : දෙමළ - ශම්බු, නාවල්
ඉංග්‍රීසි -Black Plum, Jambol, Indian Blackberry



 


ශ්‍රි ලංකාවේ වියළි කලාපීය වනාන්තර වලද ළඳු කැළෑ ආශ්‍රිතවද ස්වාභාවිකව වැවෙන මාදං තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයේද සරුවට වැවෙනු දක්නට ලැබේ. මෙය උස්ව වැඩෙන අලංකාර සදාහරිත

ශාකයකි. එමෙන්ම කාෂ්ඨීය ගසක් ලෙස වර්ධනය වන ශාකයකි. මීටර් 5-30 පමණ උසට වැඩෙන අතර මාදං ශාකයේ කෙඳහි වට ප්‍රමාණය මීටර් 0.5-3.0 පමණ විශාලව වර්ධනය වේ. මේ අනුව සෙව ශාකයක් ලෙසත් වන වගා සඳහාත් භාවිතා කිරීමේ විභවයක්ද ඇත. එමෙන්ම වෙනත් වගාවක් කිරීමට නුසුදුසු වගුරු බිම්වල වුවද වැවෙන ශාකයකි. මාදං නියඟයට මෙන්ම ජල ගැලීම් වලට ද ඔරොත්තු දෙයි. මාදං වල නිජබිම ඉන්දියාව ලෙස සැලකෙයි. මෙය ඉන්දියාව, ශ්‍රි ලංකාව ඇතුළු ආසියානු රටවලට ආවේනික ශාකයකි.

ශ්‍රි ලංකාවේ මාදං වගාවන් ලෙස තවමත් දක්නට නොමැති වුවත් ඉන්දියාව ආදී රටවල මාවත් දෙපස ද උද්‍යාන වටාද සෙවන හා සුළං බාධක ලෙස ද වගා කරනු ලබයි. දැව වර්ග අතර මාදං වටිනා දැව වර්ගයකි. නිවාස ඉදිකිරීමේදී වාස්තු විද්‍යානුකූලව මාදං දැව සඳහා වැදගත් ස්ථානයක් හිමිව ඇත. දුම්රිය සිල්පර කොටන් සෑදීම සඳහා ද භාවිතා කරනු ලබන මාදං ශක්තිමත් දැව විශේෂයකි.

මාදං පුෂ්ප

රෝස, කහ හෝ සුදු පැහැති මාදං මල් පොකුරු වශයෙන් ශාක වියන පුරා හටගනි. මෙම මල් පොකුරු පත්‍ර කක‍ෂවලින්, කෙටි අග්‍රස්ථ අංකුර වලින් හටගනි. මාදං ගෙඩිද පොකුරු ලෙසින් හටගන්නා නමුත් ගෙඩි පොකුරු තුළ ලිහිල්ව පිහිටා ඇත.

ඉතා කුඩා මාදං මල් කැකුළු                                                            මාදං මල් (දේශීය)

මාදං මල් (විදේශීය)                                                                          දං මල්

ළපටි හා ඉදීමට ප්‍රථම මාදං ගෙඩි කොල පාට වන අතර පැසීම ආරම්භ වන විට ක්‍රමයෙන් දීප්තිමත් රෝස පැහැයට හැරෙයි. ඉදෙන විට සිංහල නමෙහි තේරුමට අනුකූල වූ තද දම් හෝ කළු වර්ණයට පත්වෙයි. ගෙඩිවල මාංශලය අළු පැහැයට හුරු සුදු හෝ ලා දම් පැහැති වේ. මාංශලය යුෂ පිරුණු සුවඳ රහිත ඉතා රසවත් හා සැර ස්වභාවයකින් යුත් පලතුරකි. දම් ගෙඩි වල දක්නට ලැඛෙන්නේ එක් බීජයකි. ඒවා ඉලිප්සාකාර හා රවුම් දිගටි හැඩ වලින් යුක්තය.

ශ්‍රි ලංකාව තුළ මාදං වර්ග කිහිපයක් දක්නට ලැබේ. මාදං විශේෂ තුළ ගෙඩියක බර ප්‍රමාණය ග්‍රෑම් 0.9 - 5.8 පමණ හා හැඩයේ වෙනස්කම් අනුව විවිධත්වයක් දක්නට ඇත. දම් පැහැති නොවූ සුවිශේෂී මාදං වර්ගයක්ද ශ්‍රි ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශ තුළ කලාතුරකින් දක්නට ඇත. මේවා ඉතා දුර්ලභය. එලදං ලෙස ජනයා අතර ව්‍යාවහාර වන මෙම මාදං වර්ගය පැසුණු විටද ලා කොළ පැහැතිය. එමෙන්ම ඉතා රසවත්ය. මාදං පර පරාගනයට භාජනය වන ශාකයක් වන අතර මේ සඳහා මී මැස්සන්, ගෙමැස්සන් හා සුළග උපකාරීවේ.

ශාකයේ මුල සිට අතු ඛෙදෙමින් පඳුරක් ලෙස අඩි 5-15 ක් පමණ උසට වැඩෙන මාදං වලට සමාන වුවද ඊට වඩා කුඩා ගෙඩි සහිත අතු අග පොකුරු වශයෙන් ඛෙහෙවින් මල් හා ඵල හට ගන්න දං" (Syzygium caryophyllatum (L.) Alston) ශාකයද වගා කිරීම සඳහා භාවිතා කළ හැකි වැදගත් ශාකයකි.

 

මාදංවල විවිධත්වය

මාදං ගෙඩි කුඩා දේශීය විශේෂයක්                                              මාදං ගෙඩි විශාල දේශීය විශේෂයක්

මාදං ගෙඩි විශාල විදේශීය විශේෂයක                                         කොළ පැහැති මාදං (එල දං)

ඉතා කුඩා ගෙඩි සහිත දං විශේෂයක (Syzygium caryophyllatum)

 

 

 

පෝෂණීය අගය

මාදං ගෙඩි පෝෂණීය අගයෙන් ඉතා ඉහළයග මෙය යකඩ සඳහා හොද ප්‍රභවයක් වන අතර සාමාන්‍යයෙන් අනිකුත් ඛණිජ ලවනල සීනි සහ ප්‍රෝටීන් ආදිය ද අඩංගු වේ.

 

මාදං ඵලයේ මාංශල ග්‍රෑම් 100 ක අඩංගු සංයුතිය පහත දක්වා ඇත

ශක්තිය කි. කැලරි

                                  277

ජලය ග්‍රෑම්

                                  84 - 86

ප්‍රෝටීන් ග්‍රෑම්

                                  0.2 - 0.7

මේදය ග්‍රෑම්

                                  0.3

කාබෝහයිඩ්රේට ග්‍රෑම්

                                  14 - 16

කැල්සියම් මිලි ග්‍රෑම්

                                  8 - 15

පොස්පරස් මිලි ග්‍රෑම්

                                  15

යකඩ මිලි ග්‍රෑම්

                                  1.2

විටමින් සී මිලි ග්‍රෑම්

                                  5 - 18

රයිබොප්ලෙවින් මිලි ග්‍රෑම්

                                  0.01

නියැසීන් මිලි ග්‍රෑම්

                                  0.3

තන්තු ග්‍රෑම්

                                  0.3 - 0.9

 

දේශගුණය

කුඩා අවධියේදී මාදං ශාක ශීතල සහ නියග තත්ත්වයනට සංවේදී වේ. කෙසේ වුවද මාදං මුහුදු මට්ටමේ සිට මීටර් 1500 පමණ උස ප්‍රදේශවල ද දක්නට ලැබේ. මාදං ශ්‍රි ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශ වල ස්වාභාවික වගාවන් ලෙස බහුලව දක්නට ලැබේ. එමෙන්ම තෙත් හා අතරමැදි කලාපීය ප්‍රදේශ වලද හොඳින් වැඩුණු මාදං ශාක දක්නට ලැබේ. ලවණ සහිත වගුරු බිම්වල ද වැලි අධික පසෙහි ද මාදං හොඳින් වර්ධනය වේ.

ප්‍රචාරණය

මාදං බීජ මගින් හා වර්ධක ක්‍රම මගින් ප්‍රචාරණය කළ හැකිය. මාදං සඳහා වඩාත්ම ප්‍රචලිත වන්නේ නිරෝගී බීජ මගින් ප්‍රචාරණයයි. සුදුසු ගුණාංග සහිත යෝග්‍ය මව් ශාකයකින් බීජ ලබා ගැනීම ඉතා වැදගත්ය. මාංශලය ඉවත් කොට බීජ වහාම වැලි තවානක තවාන් දැමීමෙන් 90-95% ක පමණ ප්‍රරෝහණ ප්‍රතිශතයක් සති 2-3 කින් ලබාගත හැකිය. එහෙත් මාදං බීජ ගබඩා කර තබා ගැනීමෙන් ජීව්‍යතාවය අඩුවී යයි. බීජ පැළ වල පත්‍ර මේරීමත් සමඟ උසස් තත්ත්වයේ පැළ පොලිතීන් මළුවල සිටුවිය හැකිය. මෙහිදී එම බඳුන් සඳහා සාමාන්‍ය බඳුන් මිශ්‍රණය භාවිතා කළ හැකිය. මෙම පැළ වසරක් පමණ ගතවන විට ක‍ෂ්ත්‍රයේ සිටුවිය හැකිය. මෙම බීජ පැළ වර්ධක ප්‍රචාරණය සඳහා ග්‍රාහක ලෙස භාවිතා කිරීමට සුදුසු තත්ත්වයන්ට පත්වීමට මාස 3-5 ක් පමණ ගතවේ.

වර්ධක ප්‍රචාරණය

මාදං පර පරාගනයෙන් බහුලව ප්‍රචාරණය සිදුවන බැවින්, උසස් ගුණාංග සහිත පැළයක් ලබා ගැනීම සඳහා වර්ධක ප්‍රචාරණය භාවිතා කළ යුතුය. මෙහිදී කූක‍ද්ක‍ද බද්ධය, සමීප බද්ධය, පැති බද්ධය මෙන්ම අතු බැඳීම ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙයි. මාදං ප්‍රචාරණය සඳහා කූක‍ද්ක‍ද බද්ධය වඩා සාර්ථකව භාවිතා කළ හැකි බවත්, අනෙක “ මර්ටේසියේ” පවුලේ ජම්බු වැනි පලතුරු බද්ධ පැළ නිෂ්පාදනය කිරීමේදී ග්‍රාහකය ලෙස මාදං බීජ පැළ භාවිතා කළ හැකි බවටත් හඳුනාගෙන ඇත.

 

වැලි තවානක වැඩෙන                                                     බද්ධ කිරීමට සුදුසු මාදං බීජ පැළ

මාදං බීජ පැළ                                                                                     

 

බද්ධ මාදං පැළයක්                                                           බඳුන් කළ මාදං පැළයක්

 

රෝග හා පළිබෝධ

මාදං සඳහා තදබල ලෙස හානිකර රෝග හා පළිබෝධ මෙතෙක් වාර්තා වී නැත.

අස්වැන්න

ඵල දරන අවධියේදී මාදං ශාකයේ වියන පුරා පොකුරු වශයෙන් අධිකව ඉතා අලංකාරව ඵල හටගනී. හොඳින් වැඩුණු බීජ පැළ ගසකින් සාමාන්‍ය අස්වැන්න කිලෝ ග්‍රෑම් 80-100 ක් පමණ ලබාගත හැකි බව පොත පතෙහි දැක්වෙයි. අස්වනු විභවය සහ පසු අස්වනු තාක‍ෂණයන් පිළිබඳව විධිමත් දත්ත වාර්තා වී නොමැති වුවත් ශ්‍රි ලංකාවේ වියළි කලාපීය තත්ත්ව යටතේ ඉතා සරු අස්වැන්නක් මාදං වලින් ලබාගත හැකිය. විශේෂයෙන්ම ජූනි, ජූලි මාස වලදී ඵල දැරීම බහුලව දක්නට ලැඛෙන අතර ඵල දැරීමේ කාලය සැප්තැම්බර්, ඔක්තෝබර් මාස දක්වාම පැවතිය හැකිය. හොඳින් පැසුණු මාදං ගෙඩි සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ දින 6 ක් පමණ ගබඩා කර තැබිය හැකිය. එමෙන්ම ශීතකරණ තත්ත්ව යටතේදී පොලිතීන් බෑග් වල අසුරා සති 3 ක් පමණ ගබඩා කොට තබාගත හැකිය.

භාවිත

ඉතා ප්‍රසන්න රසයකින් සහ වර්ණයකින් යුත් මාදං නැවුම් පලතුරක් ලෙසත් අතුරුපස සඳහාත් භාවිතා කරනු ලබයි. මාදං ආහාරයට ගැනීමට පෙර රසවත් කිරීමට ලූණු එකතු කළ හැකිය. එමෙන්ම මාදං වලින් රසවත් බීම, ජෙලි, ජෑම්, වයින්, විනාකිරි හා ආහාර වර්ණකාරක

නිෂ්පාදනය කළ හැකිය. මාදං බීම උණුසුම් කාලගුණික තත්ත්වයන් වලදී වඩාත් සුදුසු ගතසිත

පුබුදන රසවත් බීමකි. සමාන ප්‍රමාණ වලින් මාදං හා අඹ මිශ්‍ර කොට සාදා ගන්නා පලතුරු යුෂ දියවැඩියා

රෝගීන්ගේ පවස නිවීමට ඉතා සුදුසු බීමක් ලෙස සැලකෙයි. තරමක අමු මාදං ගෙඩි වලින් ලබා ගන්නා යුෂ වලින් නිෂ්පාදනය කළ හැකි විනාකිරි අමාශයට ඉතා සුදුසු ගුණාංග සහිත බවත් සඳහන් වෙයි. මාදං බීජ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ කැල්සියම් සහිත බැවින් සත්ත්ව ආහාර නිෂ්පාදනයේදී උපයෝගී කරගත හැකිවෙයි. මාදං ශාකයේ දැව ජලයට ප්‍රතිරෝධී වීම විශේෂ ගුණාංගයකි. මේ නිසා ගොඩනැගිලි ඉදිකිරීමේදී, කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදනයේදී හා දුම්රිය සිල්පර සෑදීමේදී ආදී විශේෂ කාර්යයන් සඳහා භාවිතා කරනු ලබන වැදගත් දැව වර්ගයකි.

එමෙන්ම මාදං ඖෂධීය ගුණයෙන්ද ඉහළ අගයක් ගනී. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී දියවැඩියාව ආදී රෝග ප්‍රතිකාර සඳහා මාදං ශාක කොටස් භාවිතා කරනු ලබයි. බඳුන් වගාව සඳහා මාදං ඉතා සාර්ථකව භාවිතා කළ හැකිය.