මිදි

(Vitisvinifera)

 


හැදින්වීම

ලෝකයේ බහුලව වගා කරනු ලබන මිදි විශේෂය වන්නේ විටිස් විනිෆෙරාය. එය කැස්පියන් හා කළු මුහුද අවට ප්‍රදේශයෙහි සම්භවය වී ඇතැයි සැලකේ. නැවුම් පළතුරක් ලෙස ආහාරයට ගැනීම, වයින් නිෂ්පාදනය හා වියළි මිදි නිෂ්පාදනය යන ප්‍රධාන ප්‍රයෝජන තුන සඳහා මිදි වගා කරණු ලැබේ.

ලෝකයේ මුළු මිදි නිෂ්පාදනයෙන් 70% ක් පමණ වයින් සඳහා ද 28% ක් පමණ නැවුම් පළතුරක් ලෙසද 2% ක් පමණ වියළි මිදි සඳහා ද යොදාගනු ලැබේ. මේ අනුව වගා කරණු ලබන මිදි වර්ගද වෙනස් වේ. මෙයට අමතරව යුෂ ලබාගැනීම, ටින් කිරීම වැනි කාර්යයන් සඳහාද මිදි අස්වැන්න භාව්තා කළ හැකිය. නැවුම් පළතුරක් ලෙස සහ වියළි මිදි ලෙස මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වැය වෙයි.

සාර්ථකව මිදි වගා කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලැබිය යුතුය. විශේෂයෙන් කප්පාදු කිරීම හා වැල් පුහුණු කිරීම වැනි ඉතා වැදගත් වගා පාලන ක්‍රම නිසි පරිදි ඉටු නොකිරීම නිසා අස්වැන්න බෙහෙවින් අඩු විය හැකිය. එසේම වගාව කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීමද ඉතා වැදගත්ය.

අනිකුත් පළතුරු වගාවන් සමඟ සසදන කල මිදි වගාව සඳහා වැඩි මූලික ප්‍රාග්ධනයක් යෙදවිය යුතුය. නමුත් ක්‍රමවත්ව නඩත්තු කල මිදි වගාවකින් විශාල ආදායමක් ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවට මිදි වගාව හදුන්වා දී ඇත්තේ පෘතුගීසි මිෂනාරීවරුන් විසිනි. බොහෝ කලක් යාපනය, පුත්තලම වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ලැබුණු මෙම වගාව මේ වනවිට අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල වැනි ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත.

ශ්‍රී ලංකාවේ වගා කළ හැකි වෙනත් සියළුම පළතුරු වලට වඩා වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ලබාදීමට මිදි වගාව සමත්ය. දේශීයව පවතින අධික ඉල්ලුම සහ වැඩි මිලකට අලෙවි කරගත හැකිවීම නිසා මිදි වගාව ගොවීන් අතර ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වීමට හේතු වී තිබේ.

මිදිවල පෝෂණ ගුණය
(මිදි යුෂ මිලි ලීටර් 100 ක අඩංගු සංඝටක

පෝෂක

ප්‍රමාණය

ජලය  

70% - 85 %

කාබෝහයිඩේට් 

15% - 25 %

ඛනිජ ලවන  

0.3% - 0.6 %

නයිට්‍රිජනීය සංයෝග  

0.03% - 0.17 %


ප්‍රභේද

කාඩිනල්
ගෙඩි රතු පාටට හුරු දම් පැහැයක් ගනී. ඉදුණු ගෙඩි වල පොත්ත තුනීය. හොඳින් ඉදුණු ගෙඩිවල මනා පැණි රසයක් තිබේ. ප්‍රසන්න සුවඳක් ඇත. පොකුරේ ගෙඩි ලිහිල්ව පිහිටා තිබේ. එසේම මිදි පොකුරක ඇති ගෙඩි එකවරම ඉදේ.

අළුත් පළතුරක් ලෙස භාවිතා කළ හැකිය. කප්පාදුකර මාස 2 1/2 ක් පමණ ගතවූ පසු අස්වැන්න නෙලාගත හැකිය.

ඊශ්‍රයල් බ්ලු
ඉදුණු ගෙඩි තදදම් පාටට හුරු නිල් පැහැතිය. පොකුරුවල ගෙඩි තදින් ඇහිරී ඇති අතර තරමක් දුරට එකවර ගෙඩි ඉදීම සිදුනොවේ. ගෙඩිවල පොත්ත කාඩිනල් ප්‍රභේදයට වඩා ගණකම්ය.

මෙහි ඉදුණු ගෙඩි කාඩිනල්වල තරම් පැණිරස නැත. ඉදුණු ගෙඩිවල තරමක කහට රසයක්ද පවතී. බීජ සංඛ්‍යාවද කාඩිනල් වලට වඩා වැඩිය. කප්පාදු කර මාස තුනක් පමණ ගතවූ පසු අස්වැන්න නෙලාගත හැකිය.

බ්ලැක් මස්කට්
ඉදුණු ගෙඩි තදදම් පාටට හුරු කළු පාටය. මධ්‍යස්ථ ප්‍රමාණයේ විශාලත්වයක් හා ප්‍රසන්න සුවඳක් ඇත. ගෙඩියක බීජ 1 - 2 පමණ පවතී. පොත්ත තුනීය. මදය තරමක් ඝණකම්ය. පොකුරේ ගෙඩි තරමක් ලිහිල්ව පිහිටා ඇත.

ගෙඩි එකවර ඉදේ. ඒ සඳහා මාස තුනක් පමණ ගතවේ. අළුත් පළතුරක් ලෙස මෙන්ම වයින් නිපදවීම සඳහා යොදා ගනී.

වැඩිදියුණු කළ ඉසබෙලා
මෙය කාඩිනල්බ්ලු ප්‍රභේදයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. පොකුරේ ගෙඩි එකවර ඉදීමක් සිදුනොවේ. එම නිසා පොකුරේ ගෙඩි සියල්ල ඉදෙනතෙක් නෙලීම ප්‍රමාදකළ යුතුය. මදය පොත්තෙන් පහසුවෙන් වෙන්නොවේ. ඉදුණු ගෙඩිවලපවා තරමක් ඇඹුල් ස්වභාවයක් පවතී. ඉදුණු ගෙඩි දම්පාටය. බීජ සහිතය. මේ ප්‍රභේදය යටිපුස් රෝගයට බොහෝ සෙයින් ප්‍රතිරෝධි වේ. එම නිසා තෙත් කලාපයේ වුවද වගාකළ හැක. වියළි කලාපයේ වාණිජ මට්ටමින් වගා කිරීම සඳහා මෙම ප්‍රභේදය නිර්දේශ කරනු නොලැබේ. වර්ෂයේ ඕනෑම කාලයකදී කප්පාදු කිරීමෙන් මල් හටගැනේ. රතු වයින් සෑදීමට යොදා ගනී.

සෙමිලෝන්
ගෙඩි ප්‍රමාණයෙන් කුඩාය. ඉදීගෙන එනවිට ලාකොළ පාටට හුරු කහ පාටට හැරේ. පොකුරේ ගෙඩි තදින් ඇහිරී ඇත. ගෙඩිවල තරමක් ඇඹූල් රසයක් පවතී. සුදු වයින් නිපදවීම සඳහා යෝග්‍ය ප්‍රභේදයකි. කප්පාදු කර මාස 3 කින් අස්වනු නෙලාගත හැක.

තොමිසන් සිඩ්ලස්
මෙය පළතුරක් ලෙස මෙන්ම වියළි මිදි නිපදවීම සඳහාද බහුල වශයෙන් යොදා ගැනේ. ඉතා පැණිරස ඉදුණු ගෙඩි කොළ පාටට හුරු රන්වන් කහ පැහැයක් ගනී. ඒවායේ බීජ නැත. මල් හටගෙන අස්වැන්න නෙලා ගැනීමට මාස 03 ක් පමණ ගතවේ. හෝමෝන භාවිතාකර හෝ ගෙඩි අතින් තුනීකර හෝ ගෙඩිවල විශාලත්වය වැඩිකර ගතහැකිය. හොදින් ඉදුණු ගෙඩි ඉතා පහසුවෙන් නටුවෙන් ගැලවී වැටේ.

මස්කට් එම්. අයි.

ඉදුණු ගෙඩි තදදම් පාටය. මිදි පොකුරේ නටුව ඉතා කෙටි නිසා නෙලීමේදී වැලට හා ගෙඩි වලට හානි නොවීමට විශේෂයෙන් වගබලා ගතයුතුය. පොකුර කේතු ආකාර හැඩයකින් යුතුය. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ කප්පාදු කළයුතු වඩා සුදුසු අවස්ථාවේ මද වෙනස්කමක් වුවද එය මල්, ගෙඩි හටගැනීම කෙරෙහි දැඩි බලපෑමක් ඇති නොකිරීමයි. කප්පාදුවෙන් පසු මාස 3කදී පමණ අස්වනු නෙලාගත හැකිය. රතු වයින් නිපදවීම සඳහාද සුදුසු වර්ගයකි.

ෆ්රේන්ච් එම්. අයි.

සුදු වයින් නිපදවීම සඳහා සුදුසු ප්‍රභේදයකි. කොළ පැහැති ගෙඩි ප්‍රමාණයෙන් තරමක් කුඩාය. පොකුරේ ගෙඩි තදින් ඇසිරී ඇත. ඉදුණු ගෙඩි ලාකහකොළ පාටය. පොකුරේ ගෙඩි ඉදීම ඒකාකාරීව සිදුවේ. යටිපුස් රෝගයට තරමක් ප්‍රතිරෝධීය. යල සහ මහ කන්නවල අස්වැන්න අතර පැහැදිලි වෙනස්කමක් නොපවතී. මල් හටගෙන ගෙඩි නෙලීමට මාස තුනක් ගතවේ.

 

දේශගුණය
සාර්ථකව මිදි වගා කිරීම සඳහා වියළි කාළගුණය පවතින ප්‍රදේශ වඩාත් සුදුසුයි. මිදි ඵල හටගන්නා කාලවලදී විශේෂයෙන්ම වියළි කාළගුණයක් තිබීම අත්‍යවශ්‍යයි. එසේ නොවූවිට මල් සහ ඵල හටගැනීම අඩුවීම හා හටගත් ඵලවල තත්ත්වය බාලවීම හා දිලීර රෝග වර්ධනය වීම කෙරෙහි බලපායි.

වියළි කළාපයේ මාස තුනකට නොඅඩු පැහැදිලි වියළි කාල දෙකක් දක්නට ලැබේ. ඒවා නම් ජනවාරි සිට මාර්තු, අප්‍රේල් දක්වා සහ ජුනි - සැත්තැම්බර් දක්වා කාලයත්ය. මෙවැනි වර්ෂාපතන රටාවක් පවතින වියළි කලාපයේ ජල සම්පාදන තත්ත්ව යටතේ මිදි හොඳින් වගාකල හැකිය.

පස
මිදි වගාව සඳහා ඉතාම යෝග්‍ය වන්නේ ඉතා හොඳින් ජලය බැසයන සැහැල්ලු ගැඹුරු පසකි. පසේ ගැඹුර මීටර් 1 - 2 පමණ තිබේ නම් වගාවේ මුල් වර්ධනය ඉතා හොදින් සිදුවීමට අවකාශ ලැබේ. පස මතුපිටට ආසන්නව තද ගල් ස්ථරයක් පවතින චූර්නමය නොවන ගැඹුරු පස් ඇති අරලගංවිල හා අම්පාර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ මිදි වගාව සඳහා එතරම් සුදුසු නොවේ. තවද අධික ලවන සහිත පස් වලද මිදි වගාකළ නොහැක.

වගාව සඳහා පසෙහි පැවතිය යුතු වඩාත් සුදුසු පී. එච්. අගය 6.5 - 7.5 පමණ වේ.

පැළ නිෂ්පාදනය
බද්ධ ක්‍රම, අතු බැදීම හා දඬු කැබලි යන ක්‍රම මඟින් මිදි පැළ නිපදවා ගත හැකිය. එහෙත් අප රටේ වඩා සරල හා පහසු ක්‍රමය වන්නේ දඬු කැබලි මඟින් පැළ සකස් කර ගැනීමයි.

දඬු කැබලි මඟින් පැළ නිපදවා ගැනීම
වැල් තෝරා ගැනීම
පැළ නිෂ්පාදනය කර ගැනීම සඳහා දඬු කැබලි ලබාගත යුත්තේ තෝරාගත් වැල්වලින් පමණි. මේ සඳහා උසස් අස්වැන්නක් ලබාදෙන නීරෝගී, ගුණාත්මයෙන් වැඩි ගෙඩි හටගන්නා ප්‍රදේශයට වඩා ගැලපෙන ප්‍රභේදයක වැල් තෝරා ගන්න. සාමාන්‍යයෙන් දඬු කැබලි ලබාගන්නේ මිදි වැල් කප්පාදු කරන අවස්ථාවේදීය.

දඬු කැබලි තෝරා ගැනීම
මුල් අද්දවා ගැනීම සඳහා සුදුසු දඬු කැබලි තෝරා ගැනීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. පසුගිය කන්නයේ කප්පාදුවෙන් පසුව හටගත් දුඹුරු පැහැති මේරූ නීරෝගී දඬු (දල දඬු) තෝරා ගන්න. දඬු කැබැල්ලේ අංකුර අක්‍රීය තත්ත්වයේ පැවතිය යුතුය.

ලබාගන්නා දඬු පැන්සලක විශ්කම්භයට වඩාවැඩි විය යුතුය. එනම් විශ්කම්භය සෙන්ටි මීටරයක් පමණ වීම වඩා සුදුසුය. දඬුවල විශ්කම්භය මෙයට වඩාවැඩි හෝ අඩු වුවහොත් මුල් හටගැනීම අඩු විය හැකිය.

මුල් අද්දවා ගැනීම සඳහා යොදා ගන්නා දඬු කැබැල්ලක් සෙ.මී. 25 - 30 (අඟල් 10 - 12) දිගවන පරිදි සහ ගැට 04 පමණ අඩංගු වනසේ කපාගන්න. මෙවැනි දඬු කැබැල්ලක අවම වශයෙන් ගැට 3 - 4 වත් තිබිම අත්‍යවශ්‍යයි.

දඬු කැබලි සකසා ගැනීම
මුල් අද්දවා ගැනීමට දඬු කැබලි සකසා ගැනීමේදී දඬු කැබැල්ලේ ඉහළින්ම ඇති ගැටයේ සිට සෙන්ටිමීටර් 01 ක් (අඟල් 1/2) පමණ ඉහළින් හරස් අතට කපන්න. ඉන්පසු දඬු කැබැල්ලේ පහළින්ම ඇති අංකුරයට විරුද්ධ දිශාවෙන් ගැටයට ආසන්නයෙන් ආනතව කැපුමක් යොදන්න.

මේ මඟින් දඬු කැබැල්ලේ ඉහළ සහ පහළ කෙලවරවල් පහසුවෙන් හඳුනාගත හැක. මෙයට අමතරව ඉහළ කෙලවරින් ජලයෙන් හානිවීමද අවම වේ. පහළ කැපුම් තලය ආනත හැඩයක් ගන්නා නිසා එහි මතුපිට ක්ෂේත්‍රඵලය වැඩිවේ. එය මුල්හට ගැනීමට හේතුවන "කිනක පටක" වැඩි ප්‍රමාණයක් හටගන්වා ගැනීමට උපකාරි වේ.

ඉහත පරිදි කපාගත් දඬු කැබලි තයොෆනේට් මීතයිල් 50 % + තිරාම් 30 % W P වැනි දිලීර නාශක ද්‍රාවනයක විනාඩි 05 ක් පමණ කාලයක් සම්පූර්ණයෙන් ගිල්වා තබන්න. මෙයින් දිලීර රෝග වලින් දඬු කැබලි ආරක්ෂා කරගත හැක.

වැලි බඳුන් යොදා ගැනීම
සෙවණ සහිත ස්ථානයක ලී හෝ ගඩොල් වලින් සෙන්ටිමීටර් 45 පමණ උස පෙට්ටියක් සාදා ගන්න. මෙහි දිග සහ පළල මුල් අද්දවා ගතයුතු දඩු ප්‍රමාණයමත තීරණය කරගන්න.

පෙට්ටියේ පතුලට සෙන්ටිමීටර් 15ක් පමණ පිරිසිදු වැලි තට්ටුවක් දමා ඒ මත දඬු කැබලි මිටි (දඩු කැබලි 25 - 30 පමණ) හරස් අතට සිටින සේ තට්ටු වශයෙන් අසුරන්න. මෙලෙස තැම්පත් කරණුලබන සෑම දඬු කැබලි මිටි තට්ටුවක්ම වැලි තට්ටුවකින් වසන්න.

ඉන්පසු ඉහළින්ම තැම්පත්කළ දඬු කැබලි මිටි සම්පූර්ණයෙන්ම වැසීයන පරිදි සෙන්ටි මීටර් 10 (අඟල් 04) පමණ ඝනකමක් සහිත වැලි තට්ටුවක් දමන්න.

මෙම වැලි තට්ටුව හොඳින් තෙත්කර තෙත් ගෝනියකින් වසන්න. වැලි තට්ටුව වියළීයාම වලකාගැනීම සඳහා වරින්වර එයට ජලය යොදන්න.

වැලි බඳුනෙහි තැම්පත්කර දින 10 - 15 පමණ ගතවූ පසු දඬු කැබලිවල කැපුම් පෘෂ්ඨයමත ඉදිමුමක් වැනි වර්ධනයක් (කිනක) ඇති වේ. මෙලෙස "කිනක පටක" හොඳින් වර්ධනය වී ඇති දඬු කැබලි බඳුන් කිරීම සඳහා සුදුසුය.

පොලිතීන් බඳුන් යොදා ගැනීම
සෙන්ටිමීටර් 30ක් පමණ පළල හා සෙන්ටිමීටර් 50 - 60 පමණ දිග පොලිතීන් කැබලි ගෙන එහි එක් කෙලවරක් මුද්‍රා තබන්න. ඉන්පසු දිලීරනාශකයේ ගිල්වාගත් දඬු කැබලි මිටියක් එයතුලට දමා පොලිතීන් බඳුනෙහි ඉතිරි කෙළවර ද මුද්‍රා තබන්න.

මේ අන්දමට දඬු කැබලි අඩංගු පොලිතීන් බඳුන් අඳුරු ස්ථානයක දින 10ක් පමණ තැම්පත්කර තබන්න. එවිට කැපුම් පෘෂ්ඨය මත කිනක වර්ධනය වේ.

තවද දඬු කැබලි මිටි අඩංගු පොලිතීන් බඳුන් අඳුරේ නොතබා ශීතකරනයක් තුල දින 08 - 10 පමණ කාලයක් තැම්පත් කිරීමෙන් ද කිනක වර්ධනය කරගත හැකිය.

කොහුබත් මාධ්‍යයක් යොදා ගැනීම
මෙහිදීද පෙර ක්‍රමයේ මෙන් පොලිතීන් බඳුන් සකසා එතුලට දිලීරනාශක ද්‍රාවනයක ගිල්වාගත් දඬු කැබලි මිටිය සම්පූර්ණයෙන්ම ආවරණය වනසේ තෙත කොහුබත් (ගුලියක් ලෙස අතින් තදකල විට ජලය නොවෑස්සෙන පදමට තෙත්කළ) වලින් පුරවා පොලිතීන් බඳුනේ විවෘත කෙළවර මුද්‍රා තබන්න.

මේ සඳහා තයොෆනේට් මීතයිල් 50 % + තිරාම් 30 % W P වැනි දිලීර නාශකයක් සමඟ මිශ්‍ර කිරීම වඩා සුදුසුය. මේ අන්දමට සකසාගත් බඳුන් සෙවණ සහිත ස්ථානයක තැම්පත් කරන්න. දින 10 - 15 දී පමණ දඬු කැබලිවල කැපුම් තලමත කිනක පටක වර්ධනය වේ. එම දඬු කැබලි පමණක් පොලිතීන් බඳුන්වල සිටුවන්න.

වැලි තවානක මුල් අද්දවා ගැනීම
වැලි තවාන් සඳහා සෙවන සහිත එළිමහන් ස්ථානයක් තෝරා ගන්න. මේ සඳහා මඩුවක්, හරිතාගාරයක් හෝ ශාක ප්‍රචාරනය සඳහා සකස් කරගත් කුටියක් යොදා ගත හැක.

මෙම ස්ථානයේ සෙ.මී. 12-15 ඝනකමට සිටිනසේ වැලි තට්ටුවක් දමා අවශ්‍ය දිග හා පළලට අනුව ගඩොල් හෝ ලී කැබලි වලින් අසුරා ගන්න. තවාන් සඳහා පිරිසිදු වැලි පමණක් භාවිතා කරන්න. ජලය පහසුවෙන් බැසයන ස්ථානයක තවාන් සකස් කරගත යුතුය.

දඬු කැබලි කපාගත් විගස එහි පහළ කෙලවර එනම් ආනතව කැපූ කෙලවර සමඟ දඬු කැබැල්ලේ ගැට දෙකක් වැලි වලින් යටවන සේ සිටුවන්න. සිටවූ දඬු කැබලි වියලී යාම වලක්වා ගැනීම සඳහා වරින්වර වැලි තවානට ප්‍රවේශමෙන් ජලය යොදන්න.

සති 04 ගතවූ පසුව මුල් හටගැනීම සිදුවේ. එවිට දඬු පොලිතීන් බදුන්වල සිටුවිය හැකිය.

බඳුන් සකසා ගැනීම
ගේඡ් 250 - 300 පොලිතීන් වලින් පළල සෙන්ටිමීටර් 15 ක් හා උස සෙන්ටිමීටර් 25 - 30 වූ බඳුන් සකසා ගන්න. දිරාපත් වූ ගොම හෝ කොම්පෝස්ට්, වැලි සහ මතුපිට පස් සම අනුපාතයට මිශ්‍රකර ගැනීමෙන් බඳුන් මිශ්‍රණය සකස් කරගන්න. කෙසේ වුවද මතුපිට පස්වල මැටි ප්‍රමාණය අනුව බඳුන් මිශ්‍රණය සඳහා භාවිතා කරනු ලබන වැලි සහ කොම්පෝස්ට් ප්‍රමාණය වෙනස් කරගන්න. ඉන්පසුව සකස් කරගත් පොලිතීන් බඳුන්වලට මෙම බඳුන් මිශ්‍රණය පුරවන්න.

දඬු කැබලි සිටුවීම
පහළ කැපුම් පෘෂ්ඨයේ කිනක පටක හා කුඩා කිර මුල් හටගෙන ඇති සහ දණ්ඩේ ඉහළ කෙළවර මොදුවීමට ආසන්න වී ඇති දඬු කැබලි පමණක් බඳුන් කිරීම සඳහා තෝරා ගන්න.

අවශ්‍ය ප්‍රමාණයට වැඩි දිගකින් යුත් මුල් වැඩීඇති සහ අංකුරවල පත්‍ර විහිදී ඇති දඬු කැබලි බඳුන් කලවිට වැඩි ප්‍රමාණයක් මියයැමට ඉඩඇත. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ මුල් හටගැනීමට යොදා ගන්නා මාධ්‍යයතුල වැඩි කාලයක් දඬු කැබලි තිබීමට ඉඩහැරීම නිසාය.

දඬු කැබලි බඳුන් කිරීම සඳහා පළමුවෙන්ම සකස් කරගත් බඳුන්වල ප්‍රමාණයෙන් අඩක් පමණ නියමිත බඳුන් මාධ්‍යයෙන් පුරවා ගන්න. තෝරාගත් දඬු කැබැල්ල කිරිමුල් නොකැඩෙක පරිදි බඳුනේ හරි මැදින් බඳුන් මාධ්‍ය මත ප්‍රවේශමෙන් තැම්පත්කර එය මතට බඳුන් මධ්‍යයෙහි ඉතිරි කොටස දමන්න. අවම වශයෙන් දණ්ඩෙහි ගැට දෙකක්වත් බඳුන් මාධ්‍යයෙන් පිටතට සිටිනසේ මාධ්‍ය පුරවා ගන්න. සපයන වැඩි ජලය ඉවත්වීම සඳහා බඳුන්වල පහළින් සිදුරු කිහිපයක් සැකසීමද කළයුතුය. පැලය සිටවූ බදුනටද ඉහත අකාරයට දිලීරනාශක යොදන්න.

මේ සිටවූ පැළ සෙවණ සහිත ස්ථානයක තැම්පත්කර ජලය සපයන්න. කිනක වර්ධනය වී ඇති දඬු කැබලි මෙලෙස සිටුවා සති 2-3 ගතවූ පසුව අංකුර වැඩීම ආරම්භ වේ. මෙසේ ඇතිවූ පැළ මාස 3 - 4 පමණ කාලයකදී ‍ක්ෂේත්‍රයේ සිටුවිය හැක.

සිටුවීමට සුදුසු කාලය
වියළි කලාපයේ පවතින දේශගුණික තත්ත්වයමත මිදි පැළ සිටුවීමට වඩා සුදුසු කාලය වන්නේ සාමාන්‍යයෙන් පෙබරවාරි සිට මාර්තු දක්වාත් ජුනි සිට අගෝස්තු දක්වාත් වැසි රහිත කාලයත්ය. වැසි සහිත කාලවලදී සිටුවීමේදී රෝගවලට පාත්‍ර වේ.

සිටුවීමේ පරතරය
මිදි වැල්වල පරතරය වැල් පුහුණු කිරීමට බලාපොරොත්තුවන ක්‍රමය අනුව වෙනස් වේ.

පන්දලම් ක්‍රමය 

  • පැළ අතර මීටර් 7.6 x පේලි අතර මීටර් 3.6 (අඩි 24 x අඩි 12)

වැට ක්‍රමය

  • පැළ අතර මීටර් 3.6 x පේලි අතර මීටර් 1.8 (අඩි 12 x 6)

පඳුරු ක්‍රමය

  • පැළ අතර මීටර් 1.8 x පේලි අතර මීටර් 1.8 (අඩි 6 x 6)


වලවල් සකසා ගැනීම
මිදි වැලක් වසර 30 ක් පමණ කාලයක් දක්වා වුවද ආර්ථික ලාබදායීව සාර්ථවක නඩත්තු කළහැක. වගාවේ පැළ පේළි පිහිටන දිශාව, ජල සම්පාදන ක්‍රමය, ඉඩමේ බෑවුම හා සුළං හමන දිශාව වැනි කරුණුමත තීරණය විය යුතුය. පළමුවෙන්ම වගාවට ජලය සැපයීමට බලාපොරෝත්තු වන්නේ කුමන ආකාරයටද යන්න පිළිබඳ දළ අදහසක් තිබීම වැදගත්ය.

සුළඟ නිසා වැල්වලට ඇති විය හැකි හානිද හැකිතාක් දුරට අඩු කරගත යුතුය. මේ සඳහා සෑම අවස්ථාවකදීම මැසි ක්‍රමයේදී නම් මීටර් 08 ක පරතරය ලබාදෙන දිශාවද, වැට ක්‍රමයේදී නම් වැට පිහිටන දිශාවද සුළඟ හමන දිශාවට සමාන්තර විය යුතුය.

පැළ සිටුවීම සඳහා සකස් කරණු ලබන වලක දිග, පළල හා උස අවම වශයෙන් මීටරයක් බැඟින් විය යුතුය. වල කැපීමේදී මතුපිට පස් හා යටිපස් වෙන් වෙන් වශයෙන් වල අසල ගොඩ කරන්න.

යටිපස නැවත වල පිරවීම සඳහා භාවිතා නොකරන්න. කපාගත් වල සඳහා හොඳින් දිරාපත් වූ ගොම පොහොර හෝ වෙනත් කාබනික පොහොර වර්ගයක් දමා පුරවා ගන්න. එයට ඉවත් කරගත් මතුපිට පස්, අවට ඇති මතුපිට පස් කාබනික පොහොර සමඟ මිශ්‍රකර මිශ්‍රණයෙන් වල පුරවන්න. ඉන්පසු මාසයක් පමණ කාලයක් මිශ්‍රණය වලෙහි හොඳින් තැම්පත් වීමට ඉඩ හරින්න.

පැළ සිටුවීමට දින කිහිපයකට පෙර මූලික පොහොර ප්‍රමාණද කලවම් කර දින 2 - 3 තබා මිදි පැළ සිටුවන්න. මාස 04 කට වඩා වැඩි කාලයක් බඳුනේ තිබූ මිදි පැළ සිටුවීමට පෙර බඳුන පතුලේ ගැටගැසී ඇති මුල් තට්ටුව කපා ඉවත් කරන්න. පොලිතීනය ඉවත්කරන අවස්ථාවේ සෙන්ටිමීටරයක් පමණ ඉහළින් කපා දැමීමෙන් මෙම මුල් තට්ටුව ඉවත්කළ හැකිය.

සිටුවන අවස්ථාව වනවිට පැළය බඳුන්කර වැඩි කාලයක් ගතවී තිබේ නම් එහි රිකිල්ල අනවශ්‍ය පරිදි දික්වී තිබීමට ඉඩතිබේ. එවිට පැළයේ මේරූ දුඹුරු පැහැති ගැට 2 - 3 පමණ ඉතිරි වනසේ සිටුවීමට සති 2 පමණ පෙර රිකිල්ලේ අඟ කෙළවර කපාදමා පැළ සිටුවන්න. පසුව ආධාරයක් ලෙස කොටුවක් පැළයෙන් අඟල් 6 පමණ දුරින් සිටුවා එයට පැළය බඳින්න.

 

වැල් පුහුණු කිරීම
වැල් පුහුණු කිරීම මඟින් ශක්තිමත් සැකිල්ලක් ලබා ගැනීමටද කප්පාදු කිරීම, කෘෂි රසායන යෙදීම, අස්වැන්න නෙලීම හා වෙනත් කටයුතු පහසු වීමට මෙය වැදගත්ය. මෙම ක්‍රම කිහිපයකි.

පන්දලම් ක්‍රමය (මැසි ක්‍රමය)
මෙම ක්‍රමය යෝග්‍යවන නමුත් වියදම් අධිකය. මිදි වැල් රෝග වලින් ආරක්ෂා කරගැනීම පහසුවන අතර උසස් ගුණාත්මයෙන්යුත් මිදි පොකුරුද වැලකින් වැඩි අස්වැන්නක්ද ලබාගත හැකිය.

පන්දලම් ක්‍රමයේදී යොදා ගන්නා පරතරය
අඩි 24 x 12 (මීටර් 8 x 4) අක්කරයකට අවශ්‍ය පැළ ප්‍රමණය 125 කි.

මිදි වැලකින් අවුරුදු 30 ක පමණ ආර්ථික ලාභදායී අස්වැන්නක් ලබාගත හැක. මේ ක්‍රමයේදී පන්දලම සකස් කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය අවුරුදු 30 ක් පමණ පවතින ඒවා විය යුතුය. කණු සඳහා කොන්ක්‍රීට්, ගැල්වනයිස් බට (අඟල් 02) හා පී.වි.සී. බටවලට කොන්ක්‍රීට් මිශ්‍රණය පිරවීමෙන් සකස් කල බට හෝ භාවිතා කල හැකිය. කණුවක උස තීරණය වන්නේ එහි කටයුතු සිදුකරන පුද්ගලයාගේ උස මතර අත ඔසවා සිටගත් පුද්ගලයාගේමැණික්කටුව ප්‍රමාණයට කණු උස තිබීම ප්‍රමාණවත්ය.

මේ අන්දමට සකස්කළ පන්දලමක මීටර් 8 x 4 කොටුවක කණු 6ක් පිහිටන අතර කොටුවේ මැද වැල පිහිටා ඇත. කණු සිටුවීමෙන් අනතුරුව කම්බි යොදා මැස්සක් ආකාරයට ගතයුතු වේ. සෑම කණුවක් මතින්ම හා සෑම කණු දෙකක හරි මැදින්ම පිහිටන සේ ගේඡ් 10 ප්‍රමාණයේ කම්බි ඇදගන්න.

පේලිය අවසානයේ පොළවට සවිකළ කූඤ්ඤයක් මඟින් ඇඳ කම්බිය තදින් සවිකරන්න. ඉන්පසු පන්දලමේ මීටර් 1 x 1 කොටු සෑදෙන පරිදි ගේඡ් 10 කම්බි යොදා සකස්කර ගන්න. පන්දලම වටේට කණු අතර මීටර් 1 x 1 පරතරයට L හැඩති යකඩ පටි ගසාගත යුතුය. දැන් පන්දලමේ මීටර් 1 x 1 ප්‍රමාණයට කොටු පිහිටන සේ සකස් කොට තිබේ. පසුව ගේඡ් 12 ප්‍රමාණයේ කම්බි වලින් සෙන්ටි මීටර් 30 කොටු සෑදෙනසේ කම්බි ඇද ගන්න.

සිටවූ කෝටුවේ ආධාරයෙන් මිදි පැළය පන්දලම දක්වා වැඩීමට සලස්වන්න.

පන්දලමේ සිට පහළට සෙන්ටි මීටර් 15 පමණ මට්ටමක් දක්වා වැඩෙන තෙක් මිදි වැලෙන් පාර්ශ්වික අතු හටගැනීමට ඉඩ නොදෙන්න. පන්දලම දක්වා වැඩුණුවිට එහි කරටිය කපා දමන්න. පන්දලම ආසන්නයෙන් පාර්ශ්වික ශාකා දෙකක් හටගැනීමට ඉඩහැර පන්දලමේ දිග දිශාව ඔස්සේ දෙපසට වැඩීමට සලස්වන්න.

පන්දලම මත දෙපසට වර්ධනය වීමට සලස්වනසේ ද්විතීක ශාකා ලබාගත යුතුය. පසුව පළමුවෙන්ම ප්‍රධාන වැලෙන් දෙපසට වැඩීමට සලස්වන ප්‍රාථමික ශාකා වලින් නිසි පරතරයට සිටින සේ ද්විතීක ශාකා ලබාගත යුතුය. මේ සඳහා පළමුවෙන් ප්‍රධාන වැලෙන් දෙපසට වැඩීමට සලස්වන ප්‍රාථමික ශාක සෙන්ටිමීටර් 30 - 40 පමණ දික්වූ පසුව අග්‍රස්ථය කපා දමන්න. එවිට ප්‍රාථමික ශාකාව ආරම්භවන ස්ථානය ආසන්නයෙන්ම ද්විතීක ශාකා දෙකක් දෙපසට වර්ධනය කරගත හැක.

වැට ක්‍රමය (නිහින් ක්‍රමය)
සෑම යාබද කණු දෙකක් අතරම මිදි පැළ එකක් බැඟින් පිහිටනසේ එකිනෙකට මීටර් 3.6 ක (අඩි 12) දුරින් පේලියට කණු සිටුවන්න. සිටුවීමෙන් පසුව මෙම කණුවක් පොළව මට්ටමේ සිට මීටර් 02 පමණ උස්ව තිබිය යුතුය. මෙසේ එකිනෙකට සම්බන්ධවන සේ පොළව මට්ටමේ සිට මීටරයක් ඉහළින් යන ආධාරකය කණුවේ ඉහළ කෙළවර ආසන්නයෙන් හරස් කම්බි අදින්න.

වැඩෙන මිදි පැළය අසලින් පැල නොවන දිග කෝටුවක් සිටුවන්න. මෙහි ආධාරයෙන් මිදි පැලය සෘජුව වැඩීමට සලස්වන්න. මෙලෙස වැඩෙන මිදි පැළය පළමුවෙන් පහළ කම්බිය දක්වා වැඩීමට සලස්වන්න. එම කම්බිය ආසන්නයෙන් හටගන්නා පාර්ශ්වික ශාකා දෙකක් එකිනෙකට විරුද්ධ පැතිවලට වැඩීමට ඉඩ හරින්න. ඉන්පසු ඉහළ කම්බිය දක්වා වැල වැඩීමට ඉඩ හරින්න. කම්බියේ ඉහළ මට්ටමට මදක් ඉහළින් ප්‍රධාන වැලෙහි අග්‍රස්ථය කපා දමන්න. නැවත පාර්ශ්වික අතු දෙකක් වැලෙහි දෙපසට වැඩීමට ඉඩහරින්න. ප්‍රධාන වැලෙන් හටගන්නා අනිකුත් සියලු පාර්ශ්වික ශාඛා වල අග්‍රස්ථය ඉවත් කරන්න.

මේ අන්දමට වැලකින් හටගන්නා එක් පාර්ශ්වික ශාඛාවකට හරස් කම්බි දිගේ මීටර් 1.8 (අඩි 06) පමණ දුරක් වැඩීමට ඉඩසැලසිය හැකිය. පසුව පාර්ශ්වික ශාකාවල අග්‍රස්ථය කපා දමන්න.

මේ ක්‍රමයට අනුව වගා නඩත්තුව පහසුය. මේ සඳහා පන්දලම් ක්‍රමයට තරම් මුදලක් වැය නොවේ. නමුත් පන්දලම් ක්‍රමයට වඩා ගතහැකි අස්වැන්න අඩුය.

පඳුරු ක්‍රමය
මෙම ක්‍රමයට මිදි පැළ සිටුවන්නේ මීටර් 1.8 (අඩි 6) ක් පරතරයටය. පැලය අසලින් සිටුවා ඇති ආධාරකයක් දිගේ මිදි වැල ඉහළට වැඩීමට සලස්වන්න. පොළොව මට්ටමේ සිට අඩි 06 ඉහළට වැඩුණු පසු එහි කරටිය කපාදමා පාර්ශ්වික ශාඛා 04 එකිනෙකට විරුද්ධ දිශාවට වැඩීමට සලස්වන්න. අනිකුත් පාර්ශ්වික ශාඛා ඉවත් කරන්න. ප්‍රධාන වැලෙන් හටගන්නා ප්‍රාථමික ශාඛා හතරෙන් ද්විතීක ශාඛා වැඩීමට ඉඩ හරින්න. ඉතාම ලාභදායි ක්‍රමය වුවත් පෙර ක්‍රම දෙකට වඩා අස්වැන්න අඩුය.

කප්පාදු කිරීම
මිදි වැලක් කප්පාදු කිරීමේදී මූලික වශයෙන් සිදුවන්නේ ලපටි හා තරමක් මේරූ දඬු කොටස් හා පත්‍ර ඉවත් කිරීමයි. මිදි වැලක් කප්පාදු කිරිමෙන් ලැබෙන වාසි කීපයකි.

  • කප්පාදු කිරීම නිසා අඩු ශ්‍රමයකින් රෝග හා පළිබෝධ පාලනය, අස්වැන්න නෙලීම හා වෙනත් වැදගත් වගා පාලන කටයුතු පහසු වන ආකාරයට මිදි වැල සකසා ගැනීමට ඉඩ ලැබේ.
  • මිදි වැලකින් ගුණාත්මයෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමටද සාර්ථක කප්පාදුවක් නිසා ඉඩ සැලසේ.
  • මිදි වැලක මල් හටගන්නේ මෙම කන්නයේදී හටගත් අලුත් රිකිලි වලය. මෙවැනි අලුත් රිකිලි වැඩි සංඛ්‍යාවක් හටගන්වා ගැනීම සඳහා කප්පාදු කිරීම අතිශයින් වැදගත් වගා පාලන කටයුත්තක් ලෙස සලකණු ලබයි.


මිදි කප්පාදුව කිරීම වැලෙහි වර්ධනය නැවතී ඇති (අක්‍රීය) අවස්ථාවේදී සිදුකළ යුතුය. කප්පාදු කිරීමට සුදුසු අවස්ථාවට පත්වී ඇති වැලක් පහසුවෙන් හදුනාගත හැකි ලක්ෂණ කිහිපයක් තිබේ. ද්විතීක ශාඛා වල වඩා මේරූ පත්‍ර කිහිපයක් කහ පැහැ ගැන්වී තිබීම හෝ පත්‍ර හැලී යාම වැලෙහි අලුත් දළු හටගැනීම නැවතී ඇති ආකාරයන් පෙන්නුම් කිරීම හා දඬුවල කෙලවරින්ම පිහිටි පත්‍ර හොදින් මේරී තිබීම ඒ අතර ප්‍රධාන වේ. තවද මිදි වැල අක්‍රීය තත්ත්වයට පත්වී ඇති බව දුටු විගස එයට ජලය සැපයීම නවත්වන්න. අවම වශෙයන් දින 7ට වත් පෙර කප්පාදුකර දින 5 - 7 පමණ ගතවූ පසුව හෝ වැලෙහි අංකුර වලින් 50% ක් පමණ ප්‍රමාණයක වර්ධනය ආරම්භ වූ අවස්ථාවේදී දිරාපත්වූ ගොම පොහොර හා නියමිත රසායනික පොහොර ප්‍රමාණය යොදා ජලය සපයන්න. කප්පාදුන් වෙන් පසු කැපුම් තලවල තඹ අඩංගු දිලීරනාශකයක් ආලේප කරන්න.

මිදි වැලකින් සතුටුදායක අස්වැන්නක් ලබාගැනීම සඳහා එය නිවැරදි අන්දමට කප්පාදු කළ යුතුය. බොහෝ මිදි වගාවන්ගෙන් සතුටුදායක අස්වැන්නක් ලබාගත නොහැකිවී ඇත්තේ ක්‍රමවත් අන්දමට කප්පාදු කිරීම සිදු නොකරන නිසාය.

මිදි වැලෙහි ද්විතීක ශාඛාවන්හි තද දුඹුරු පැහැවි ඇති ප්‍රදේශයේ හොදින් වැඩුණු අංකුර (ගැට) කිහිපයක් ඉතිරිකර සෙසු කොටස් කපා ඉවත් කරන්න. මේ අනුව දඬු කැබැල්ලක ඉතිරි කරණු ලබන අංකුර සංඛ්‍යාව, වගාකර ඇති මිදි ප්‍රභේදය එහි මල් හටගැනීමේ ස්වභාවය එනම් පුෂ්ප හටගන්නා අංකුර පිහිටි ප්‍රදේශය, වැලේ වයස, දිරිය වැනි කරුණු මත අඩු වැඩිවේ. මේ අනුව කොළ පැහැති කොටස් දළු, රිකිලි, අතු ඉවත් වී තිබිය යුතුය. කප්පාදුව නිසා සාමාන්‍යන් මිදි වැලක එම කන්නයේ වර්ධනය වූ දඬු කොටස් වලින් 80 - 90 පමණ ඉවත් වේ.

එතරම් වයස්ගත නොවූ සහ වර්ධන දිරිය අඩු වැල් කප්පාදු කරනවිට ද්විතීක ශාඛාවන්හී අංකුර 2-3 පමණ ඉතිරි කරන්න. මේ මඟින් වැලෙහි ශක්තිමත් සැකිල්ලක් ලබාගත හැක.

තවද එක් එක් ප්‍රභේද සඳහා කප්පාදුවේදී දණ්ඩේ ඉතිරි කළයුතු අංකුර (ගැට) ප්‍රමාණය තීරණය වන්නේ එම ප්‍රභේදයේ දඬුවල පුෂ්ප අංකුර පිහිටා ඇති ප්‍රදේශය අනුවය. එකිනෙකට දුරින් ගැට පිහිටා ඇතිමෙන්ම පැතලි කඳක් ඇති දඬු කැබලිවල ඵල දැරීම අඩුය. එම නිසා මෙවැනි දඬු කොටස් අංකුර 02 පමණ ඉතිරිකර කපා දැමිය යුතුය. ශ්‍රී ලංකාව වැනි රටවල වසරකට දෙවතාවක් මිදි වැල් කප්පාදුකර දෙවතාවක් අස්වනු ලබාගත හැකිය. කප්පාදු කළ යුත්තේ ඉදිරියේදී මාස 03 ක පමණ දිගු වියළි කාලගුණයක් ඇති විටදිය. එම නිසා අප රටේ යල කන්නයේදී මැයි අග සිට ජුනි මුල් භාගය දක්වාද මහ කන්නයේදී දෙසැම්බර් අග සිට ජනවාරි මුල් භාගය දක්වාද මිදි වැල් කප්පාදු කළ හැකිය.

ජල සම්පාදනය
වර්ෂාව නොමැති කාලවලදී අවම වශයෙන් සෑම දින 10 කට වරක් ජලය සපයන්න. මිදි වගාවට පත්‍ර තෙමෙන ආකාරයට ජලය යෙදීමෙන් දිලීර රෝග හටගනී. කප්පාදු කිරීමට දින 08 - 10 කට පමණ පෙර වගාවට ජලය සැපයීම නවත්වන්න. නැවත වරක් වැල්වලට ජලය ලබාදිය යුත්තේ කප්පාදුකර දින 5 - 7 පමණ පසුවය. මල්හටගන්නා කාලයේදී වගාවට අවශය තරම් ජලය තිබිය යුතුයි. වගාවේ අස්වැන්න නෙලීමට දින 10 කට පමණ පෙර සිට ජල සම්පාදනය නවත්තන්න. මෙයින් ගෙඩිවල පැණි රසය වැඩිවේ.

පොහොර යෙදීම
කාබනික පොහොර
පැළ සිටුවීමට පෙර ඉහත සඳහන් කල ආකාරයට හොදින් දිරාපත් වූ ගොම, කොළ පොහොර ආදිය යොදා වලවල් පුරවන්න. යම් හෙයකින් ඉහත පරිදි කාබනික පොහොර යෙදීමට නොහැකි වූ විට රසායනික පොහොර යෙදීමට පෙර වැල් වටා කාබනික පොහොර විසුරුවාහැර පස මුල්ලු කරන්න.

කප්පාදු කරනු ලබන සෑම අවස්ථාවකටම පසුව වැලෙහි සිට මීටරයක් පමණ දුරකින් සෙන්ටිමීටර් 30 පමණ පළල ප්‍රදේශයක සෙන්ටි මීටර් 20-25 පමණ ගැඹුරට පස් ඉවත් කරන්න. මෙය තුලට කාබනික හා රසායනික පොහොර යොදා පස් වලින් වසන්න. මෙලෙස නොගැඹුරු ලෙස පස් ඉවත් කිරිමේදී මතුපිට ප්‍රදේශයේ ඇති මුල් කැපී කිරිමුල් හටගනී. එවිට පොහොර වැඩි ප්‍රමාණයක් බෝගයට ලබා ගැනීමට ඉඩ සැලසේ.

රසායනික පොහොර
සෑම පළාතකටම

ආකාරය 

යොදන කාලය 

වර්ගය

ප්‍රමාණය

හුණු යෙදීම 

සිටුවීමට සති 02 කට පෙර

අළුහුණු / ඩොලමයිට් 

ග්‍රෑම් 500 ක් වලකට

කාබනික පොහොර යෙදීම

සිටුවීමට සති 2 කට පෙර

ගොම පොහොර, කුකුල් පොහොර,හෝ කොම්පෝස්ට්

කිලෝ ග්‍රෑම් 10 ක් වලකට

රසායනික පොහොර

වර්ගය සහ ප්‍රමාණය වැලකට ග්‍රෑම්

පෝෂක ප්‍රමාණය පැලයකට ග්‍රෑම්

යොදන කාලය

යුරියා

TSP

MOP

N   

P 2O 5

K 2 O

සිටුවීමට පෙර

60

40

125

27

18

70

සිටුවා මාස 6 පසු කප්පාදුවෙන් පසු

120

80

250

55

36

153

සිටුවා මාස 12 පසු කප්පාදුවෙන් පසු 

180

120

375

83

54

220

සිටුවා මාස 18 පසු කප්පාදුවෙන් පසු

240

160

500

111

72

305

සිටුවා මාස 24 පසු කප්පාදුවෙන් පසු

300

200

625

138

92

381

සිටුවා මාස 30 පසු කප්පාදුවෙන් පසු  

360

240

750

166

111

457

සිටුවා මාස 36 පසු කප්පාදුවෙන් පසු

420

280

875

193

129

533

සිටුවා මාස 42 පසු කප්පාදුවෙන් පසු  

480

320

1000

221

148

609


යටිපුස් රෝගය
මේ වගාවට වැලදිය හැකි ඉතාම දරුණු රෝගයයි. මේ රෝගය ඇති වන්නේ ප්ලාස්මොපොරා විට්කෝලා නැමති දිලීරය මඟිනි. පත්‍රය යටි පැත්තේ පැල්ලම් ලෙස සුදු පැහැති දිලීර ජාල සහ බිජාණු දැකගත හැක.

මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන ස්ථානවල පත්‍ර මතුපිට කහ පැහැති පැල්ලම් ඇති වේ. මෙවැනි පැල්ලම් ක්‍රමයෙන් වියළි පසුව මුළු පත්‍රයම වියලි යයි. රෝගය දරුණු තත්ත්වයට පත්වූ විට පත්‍ර වැටේ.

මෙය මිදි පොකුරුවලට සහ මල්වලටද හානි කරයි. මල් පොකුරු හානි වූ විට ගෙඩි ගිලාබැස හැකිලී ගිය ආකාරයක් ගනී. මෙය යල කන්නයට වඩා මහ කන්නයේදී වැඩියෙන් දක්නට ලැබේ.

වැසි සමය ආරම්භවීමත් සමඟ රෝග ලක්ෂණ දැකගත හැකිවූ විගස මැන්කොසෙබ් 64 % + මෙටලැක්සිල් 8 % WP වැනි සංස්ථානික දිලීර නාශකයක් පළමුවෙන් වගාවට යොදන්න. ‍

ඉන්පසු වගාවේ රෝගී තත්ත්වයන් පාලනය කරගැනීම සඳහා පහත දිලීර නාශක භාවිතා කරන්න.

දිලීරනාශක

ජලය ලීටර් 10 මිශ්‍ර කල යුතු ප්‍රමාණය (ග්‍රෑම්)

කැප්ටාන් 50 % WP    

20

කොපර් 50 % WP

40

මැන්කොසෙබ් 80 % WP

20

මැනෙබ් 80 % WP  

20

ප්‍රොපිනෙබ් 7 0 % WP 

20

ක්ලොරෝතැලොනිල් 500 ග්‍රෑම්/ලිටර් SE

10 (මිලි ලීටර්)


මෙයට අමතරව බෝඩෝ මිශ්‍රණය යෙදීම මඟින්ද මෙම රෝගය සාර්ථකව පාලනය කරගත හැකිය.

පිටිපුස් රෝගය
පිටිපුස් රෝගය වැලදෙන්නේ අන්සිනියුලා නෙකටෝර් නම් දිලීරය නිසාය. මෙම රෝගය නිසා පළමුවෙන් මේරූ හා ලපටි පත්‍ර දෙපැත්තේම පිටි වැනි ස්වභාවයක් ගන්නා සුදු අළු පැහැති පැල්ලම් හටගනී. මල් පොකුරු හා ලපටි ගෙඩිවලටද නොමේරූ කොළ පැහැති රිකිලි හා දඬුවලටද දිලීරය නිසා හානි ඇතිවිය හැකිය. ටික දිනක් ගතවූ පසුව මෙම අළු සුදු පැහැති පැල්ලම් ලෙස දිස්වන දිලීර කොටස් කළු පැහැ ගැන්වේ. වර්ෂාව අඩු වියළි කාලගුණික තත්ත්ව යටතේ මෙම රෝගය බහුලව දැකිය හැකිය. රෝගය වැළදෙන ලපටි ගෙඩි තද ස්වභාවයක් ගැනීම හා පැලීම සිදුවිය හැක.

රෝගය පාලනය කර ගැනීම සඳහා පහත සඳහන් දිලීරනාශක දින 10 කට වරක් බැඟින් පැළයට යොදන්න.

දිලීරනාශක

ජලය ලීටර් 10 මිශ්‍ර කලයුතු ප්‍රමාණය

බිටටැනෝල් 300g / LEC

මි.ලි 10

සල්ෆර් 80 % WP WG

ග්‍රෑම් 50

කාබන්ඩසිම් 50 % WP 

ග්‍රෑම් 07

කාබන්ඩයිම් 500g / ISC

මිලි.ලී. 07

තයෝෆනේට් මිතයිල් 70 % WP 

ග්‍රෑම් 06

ක්ලොරෝතැලොනිල් 500g / ISC

මි.ලි. 15


කෘමි හා වෙනත් පළිබෝධ
මිදි වැලෙහි විවිධ කොටස් වලින් යුෂ උරා බොයි. මොවුන්ගේ අපද්‍රව්‍ය වල අඩංගු සීනි සහිත සංයෝගය වෙත කුහුඹුවන් ආකර්ෂණය වේ. එසේම මෙම සීනි අඩංගු සංයෝගය මත කළු පැහැති දිලීරයක් වර්ධනය වේ. මෙම කළු පැහැය නිසා පත්‍රවල ආහාර නිපදවීමට ඇති හැකියාව අඩුවේ. ගෙඩිවල ගුණාත්මයද පහල බසී.

පාලනය

  • ඩයිමෙතොඒට් 400g / L EC
  • හෝ ඔක්සිඩොමටොන් මිනයිල් 250g / L EC
  • මිලි ලීටර් 2 - 4 වතුර ලීටර් 01 ක දියකර පත්‍ර හා කඳ කොටස්වල යටි පැත්තට ද වදින සේ ඉසින්න.


කැප්සිඩ් මකුණා
කප්පාදුවෙන් පසු ඇතිවන අළුත් රිකිලිවල පහළ ප්‍රදේශය සිදුරුකර යුෂ උරාබොයි. යුෂ උරාබීම නිසා වැලට ඇතුල් වන විෂ නිසා රිකිලි කුරුවේ. සුළඟට කඩා වැටේ. දරුණු අවස්ථාවේ විශාල ලෙස අස්වැන්න අඩුවේ. මේ සඳහා කප්පාදුවෙන් පසු හෝ ලපටි රිකිලි හටගන්නා අවස්ථාවේදී කෘමිනාශක යෙදිය යුතුය.


මිදි ගෙඩි කුණුවීම
මෙය ග්ලොමරෙල්ලා විශේෂයට අයත් දිලීරයක් නිසා ඇති වේ. මෙම රෝගය නිසා ගෙඩිවල උඩට මතුවූ දුඹුරු පාට කුඩා තිත් හටගනී. තෙත් කාළගුණයක් ඇතිවිට රෝගය වඩාත් උග්‍රවේ. රෝගය වැළදුන ගෙඩි හැකිලී රැළිවැටී කුණුවී යයි. පොකුරක ගෙඩි කිහිපයක් වුවද මෙම රෝගයට පාත්‍රවිය හැකිය. බොහෝවිට පොකුරම වියළි කුණුවීමකට ලක්වේ.

පාලනය

  • දින 7 -10 කට වරක් බැඟින් මැන්කොසෙබ් 80 % WP දිලීර නාශකය ග්‍රෑම් 20 ක් ජලය ලීටර් 10 ක දියකර වැලට යොදන්න දින 07 - 10 කට වරක් බැඟින් මැන්කොසෙබ් 80% - WP දිලීර නාශකය ග්‍රෑම් 20 ජලය ලීටර් 10 ක දියකර වැලට යොදන්න.


වේයා
වගාව ආරම්භයේ සිටම මෙය ගැටළුවක් වීමට ඉඩතිබේ. පළමුවෙන්ම ආධාරකය වෙත ආකර්ශනය වන අතර පසුව ක්‍රමයෙන් මිදි වැලේ මුල්, කදෙහි පිට පොත්ත ආහාරයට ගනී.

පාලනය

  • කෝටුවක පසට යටවන ප්‍රදේශය පිළිස්සුන එන්ජින් තෙල්වල ගිල්වා පොලිතීන් කැබැල්ලකින් ආවරණය කරන්න.
  • කාබනික පොහොර වෙත වේයන්ගේ ආකර්ශනය වැඩිය. එම නිසා දිරාගිය ගොම පොහොර පමණක් වගාවට යොදන්න.
  • වේයන්ගේ හානිය ඇතිබව දක්නට ලැබුනවිට ඉමිඩක්ලෝෆ්‍රිඩ් කෘමිනාශකය වැල වටා යොදන්න. (මෙහිදී පස මුළුමනින්ම තෙමීයන ආකාරයට යෙදීම ඉතාම වැදගත්ය)


වැල් සිදුරු කරන කෘමීන්
මේරූ කඳ සිදුරු කිරීම නිසා හානිකල ස්ථාන වලින් මැලියම් වැනි අවර්න දිලිසෙන සුළු ද්‍රව්‍යන් වෑස්සේ. කඳට හානිකල ස්ථානයට ඉහළින් වැලේ වැඩීම දුර්වල වේ.

පාලනය

  • හානිය දුටුවිට වැල වටා කාබෝෆියුරාන් ග්‍රෑම් 5ක් පසට යොදන්න. ඊට පෙර හොදින් ජලය සපයන්න.


කායික තත්ත්වයන්
මිදි ගෙඩි පැලීම
අස්වැන්න නෙලීමට ආසන්න අවස්ථාවේ දී මිදි වැලට ජලය සැපයීම නිසාද වර්ෂාව නිසාද මිදි ගෙඩි පැලීයා හැකිය. එම නිසා අස්වැන්න නෙලීමට දින 10 කට පෙර වගාවට ජලය සැපයීම නවත්වන්න.
ලපටි වැල් සඳහා ආධාරක ලෙස වේයන්ගේ හානියට ගොදුරු නොවන ලී වර්ගයක කෝටු සිටුවන්න. (කොහොඹ) 

 

අස්වැන්න
මිදි වැලකින් ලබාගත හැකි අස්වැන්න වැල් පුහුණු කරනු ලබන ක්‍රමය, වගාකර ඇති ප්‍රභේදය හා පාලන ක්‍රම ආදිය අනුව වෙනස් වේ. වැල පුහුණු කරන ආකාරය අනුවද අස්වැන්න වෙනස් වේ. අස්වැන්න නෙලනවිට, ගෙඩි වටා ඇති ඉටි ස්ථරය ඉවත් නොවීමට වගබලාගත යුතුය.