රඹුටන් ( Rambutan)

 

උද්භිද විද්‍යාත්මක නාමය -නෙපලියුම් ලැපසියම් (Nephelium lappaceum)
කුලය - සැපෙන්ඩේසියේ (Sapindaceae)


හැදින්වීම

ශ්‍රී ලංකාවේ වගාකර ඇති පලතුරු වර්ග අතුරින් රඹුටන් බෝගයට වැදගත් ස්ථානයක් හිමිවී ඇත. ඵලයේ බීජය වටා ඇති ආහාරයට ගත හැකි රසවත් යුෂයක් සහිත ඝණ මාංශලමය කොටස නිසා රඹුටන් පලතුරු බෝගයක් ලෙස වගාකරනු ලැබේ.


රඹුටන් ( Nepheliumlappacium ) සැපෙන්ඩේසියේ කුලයට අයත් නිවර්තන කලාපීය සදාහිරිත ශාකයකි. මෙය සම්භවය වී ඇත්තේ මලයාසියාව ලෙස සලකන අතර දකුණු ආසියාවේ නැගෙනහිර කලාපයේ රටවල ප්‍රධාන වශයෙන් වගා කරනු ලැබූ එය නිවර්තන කලාපයට අයත් අප්‍රිකාවේ මධ්‍යම ඇමරිකාවේ හා කැරීබියන් දූපත් දක්වා ව්‍යාප්ත වී තිබේ.

රඹුටන් වගාව සඳහා පහතරට තෙත් කලාපය වඩාත් යෝග්‍ය වන අතර, එය ප්‍රධාන වශයෙන් එම කලාපයට අයත් ගම්පහ, කොළඹ සහ කළුතර වැනි දිස්ත්‍රික්ක වල වගාකර තිබේ. පසුව එය පහතරට තෙත් කලාපයේ කෑගල්ල, රත්නපුර, ගාල්ල හා මාතර වැනි දිස්ත්‍රික්ක දක්වා සහ මැදරට තෙත් හා පහතරට අතරමැදි කලාප දක්වාද ව්‍යාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ වගාකර ඇති ස්ථීර පලතුරු බෝග අතුරින් ප්‍රධාන ස්ථානය අඹ වගාවට හිමිවන අතර රඹුටන් දෙවන ස්ථානයක් ගනී. ලංකාවේ පලතුරු වගා කර ඇති බිම් ප්‍රමාණයන් පහත වගුවේ පරිදි වේ.

බෝගය

වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර

%

කෙසෙල්

49964

59

අඹ

15097

17.8

පැපොල්

5047

6

රඹුටන්

3666

4.3

අන්නාසි

3401

4

දොඩම්

2553

3

අලිපේර

1325

1.5

පේර

1159

1.4

වෙනත්

2529

3

එකතුව

84741

100.00


රඹුටන් ඉතා රසවත් පලතුරක් වීම නිසා එහි ඵලයේ ඇති සිත් ඇදගන්නා කැපී පෙනෙන තද රතු හෝ කහ පැහැති වර්ණය නිසාත් එයට දේශීය වෙළඳපොලේ ඇති ඉල්ලුම අඛණ්ඩව වැඩිවෙමින් පවතී. රඹුටන් අපනයනය සඳහාද හොඳ විභවයක් තිබෙන අතර එය දැනට මැදපෙරදිග රටවලට අපනයනය කිරීම සිදු වේ.

රඹුටන් ශාකය ලංකාවට හඳුන්වාදීමෙන් පසු එහි ජනප්‍රිය වීමත් සමඟ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මැලයන් රතු සහ මැලයන් කහ ‍ලෙස වර්ග දෙකක් වගාව ව්‍යාප්ත කිරීම සඳහා නිර්දේශ කරන ලදි. පරපරාගනය සිදුවීම නිසා බීජවලින් පැතිරෙන ශාකයන්ගේ ඵලවල ගුණාත්මය නිශ්චිත නොවන අතර ඒවායින් සමහරක් පිරිමි මල් හටගන්නා ශාක විය හැකි හෙයින්ද වගාව සඳහා බද්ධ ‍පැළ යොදා ගැනීමට ගෙවීන් උනන්දු කරනු ලැබේ.

මේ වන විට දිවයින පුරා හෙක්ටයාර 3600 ක පමණ බිම් ප්‍රමාණයක රඹුටන් වගාව ව්‍යාප්ත වී පවති. හොඳින් පාලනය කරන වැඩුණු රඹුටන් ගසකින් වසරකට කිලෝ ග්‍රෑම් 200 ක (ගෙඩි 6000) පමණ අස්වැන්නක් ලබාගත හැකි වේ. දැනට දිවයිනේ පවතින සාමාන්‍ය රඹුටන් අස්වැන්න ගසකට කිලෝ ග්‍රෑම් 50 - 60 ප්‍රමාණයකි.

රඹුටන් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා විශාල උනන්දුවක් පවතින අතර ගෙවතු මට්ටමේ සිට අක්කර 20 දක්වා පමණ වූ තනිවගාවන් පිහිටුවීමට ගෙවීන් කටයුතු කර තිබේ. උසස් ගුණාත්මයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම, තෙත් කලාපයේ පවතින අධික ජනගහන ඝනත්වය හා එම ප්‍රදේශ සීග්‍රයෙන් නාගරීකරණය වීම නිසා ලබාගත හැකි ඉඩම් සීමාවීම යන කරුණු රඹුටන් වගාව ව්‍යාප්ත වීම කෙරේ බලපා තිබේ.

පෝෂණීය අගය

රඹුටන් මදයේ ග්‍රෑම් 100 ක අඩංගු පෝෂක ද්‍රව්‍ය

පදාර්ථය

ප්‍රමාණය

ජලය ග්‍රෑම්

82

ශක්තිය කිලෝ කැලරි

64

ප්‍රෝටීන් ග්‍රෑම්

1.0

මේදය ග්‍රෑම්

0.1

කාබෝහයිඩේට් ග්‍රෑම්

16.5

කැල්සියම් මිලි ග්‍රෑම්

20

පොස්පරස් මිලි ග්‍රෑම්

15

යකඩ මිලි ග්‍රෑම්

1.9

තයමීන් මයික්‍රො ග්‍රෑම්

10

රයිබොප්ලේවින් මයික්‍රො ග්‍රෑම්

60

විටමින් සී මිලි ග්‍රෑම්

53

නයසින් මිලි ග්‍රෑම්

0.4


 නිර්දේශිත ප්‍රභේද

මල්වාන ස්පෙෂල්



  • ගෙඩි ඉදුනු විට තැඹිලි මිශ්‍ර රතු පැහැතිය. රවුම් හැඩයක් ගනී.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 40-50 පමණ වේ. කිලෝ ග්‍රෑමයකට ගෙඩි 20 - 25 පමණ අවශ්‍ය වේ.
  • ගෙඩියක සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 4.3 - 5.0 වන අතර පළල වැඩි පැත්තෙහි විශ්කම්භය සෙන්ටිමීටර් 3.5 - 4.0 පමණද පළල අඩු පැත්තෙහි විශ්කම්භය සෙන්ටිමීටර් 3.0 - 3.5 පමණද වේ.
  • මදයෙහි ඝනකම මිලිමීටර් 8 - 9 පමණ වේ. මදය ඉතා පැණි රසය. යුෂ අධිකයි. ඉතා පහසුවෙන් මදය ගැලවේ.
  • බීජය සෙන්ටිමීටර් 2.0 - 2.5 පමණ දිගකින් හා සෙන්ටිමීටර් 1.0 - 2.0 පමණ පළලකින් යුක්තය.
  • ගෙඩියේ පිට පොත්තේ කෙදි ඉතා ළඟින් පිහිටා ඇත.
  • අස්වනු නෙලීමෙන් පසු ගෙඩිවල පැහැය දුර්වර්ණ නොවී දින 4-6 ත් පමණ කාලයක් තබාගත හැකිය.
  • වාණිජ වගාවක් සඳහා වඩා සුදුසු ප්‍රභේදය ලෙස හැඳින්විය හැකිය.


මැලයන් රතු


  • ගෙඩි ඉදුනු විට තද රතු පාටය. දිගටි හැඩයක් ගනී.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 28 - 35 පමණ වන අතර කිලෝ ග්‍රෑමයට ගෙඩි 28 - 35 පමණ අවශය වේ.
  • ගෙඩියක දිග සාමාන්‍ය සෙන්ටිමීටර් 5.0 - 6.0 පමණ වේ.
  • පිට පොත්ත තරමක් තුනීව පිහිටා ඇත.
  • මදයෙහි ඝනකම මිලිමීටර් 8 - 9 පමණ වේ. මදය පැණි රසය. මධ්‍යස්ථ මට්ටමකින් යුෂ ඇත. මදය ඉතා පහසුවෙන් ගැලවේ.
  • බීජය දිගටි ඉලිප්සාකාර හැඩතිය. එහි දිග සෙන්ටිමීටර් 2.5 - 3.0 පමණද, පළල සෙන්ටිමීටර් 0.8 - 0.9 පමණද වේ.
  • මෙම ප්‍රභේදයේ හටගන්නා පුහු ගෙඩි සංඛ්‍යාව සාපේක්ෂව වැඩිය.
  • අස්වනු නෙලීමෙන් පසුව පැහැය දුර්වර්ණ නොවී දින 3ක පමණ කාලයක් තබාගත හැකිය.


මැලයන් කහ


  • ගෙඩි ඉදුනු විට කහ පැහැතිය
  • දිගටි ‍අණ්ඩාකාර හැඩයකින් යුක්තය
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 30 - 38 පමණ වේ. කිලෝ ග්‍රෑමයට ගෙඩි 25 - 33 පමණ අවශ්‍ය වේ.
  • ගෙඩියක දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4.5 - 5.0 පමණ වේ.
  • පිට පොත්තේ ඇති කෙදි තුනීව පිහිටා ඇත.
  • මදයෙහි ගනකම මිලි මීටර් 6.0 - 7.0 පමණ වේ. මදය පැණි රසය. මධ්‍යස්ථ මට්ටමකින් යුෂ සහිතය. මදය පහසුවෙන් ගැලවේ. බීජයේ දග සෙන්ටිමීටර් 2.5 - 3.0 පමණ වේ. පළල සෙන්ටිමීටර් 1.3 - 1.6 පමණ වේ.
  • මෙම වර්ගය වෙත පිටි මකුණන් හා දිඹියන් වැඩිපුර ආකර්ෂණය වේ. අස්වැන්න නෙලීමෙන් පසුව ගෙඩියේ පිට පොත්තේ පැහැය දුර්වර්ණ නොවී තබාගත හැක්කේ දිනක පමණ කාලයකි.


නිර්දේශිත නොවන ලංකාවේ පවතින වෙනත් ප්‍රභේද

ජාවා ස්පෙෂල්



  • ගෙඩි ඉදුනු විට තැඹිලි රතු පාටය.
  • මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් හා අණ්ඩාකාර හැඩයක් ගෙඩිවල ඇත.
  • මදය මි.මී. 8 - 10 පමණ ඝනකම්ය. මදය හොඳින් පැණි රසය. යුෂ සහිතය. මධ්‍යස්ථ මට්ටමකින් මදය ගැලවේ.
  • අනෙකුත් සියලු ප්‍රභේදවලට වඩා කෙඳි දිගින් වැඩිය.
  • ගෙඩි කුඩා කාලයේදී ඇඹුල් රසයෙන් තොරය. එනිසා සතුන්ගේ හානි වලට වැඩිපුර ගොදුරු වේ.
  • එකම ඉඩමේ මෙම වර්ගයේ ගස් කිහිපයකින් වගා කිරීමෙන් මෙය බොහෝ දුරට වලක්වාගත හැකිය.


ජාවා ලබුකබෝලා



  • ගෙඩි ඉදුනු විට තැඹිලි රතු පාටය
  • මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් ඇත. වටකුරු හැඩතිය.
  • මදය ඇඹුල් පැණි රසතිය. යුෂ සහිතය. මදය හොඳින් ගැ‍ලවේ.


ජාවා සිමඩ්ජාන්


  • ගෙඩි තැඹිලි රතු පාටය
  • මධ්‍යස්ත ප්‍රමාණයේ අණ්ඩාකාර හැඩයකින් යුක්තය.
  • මදය ඇඹුල් රසයක් සහිත පැණි රසයක් ඇත. යුෂ සහිතය.
  • මධ්‍යස්ථ මට්ටමින් මදය ගැලවේ.
  • පොකුරක ගෙඩි වැඩි සංඛ්‍යාවක් හටගනී


ජාවා සිඩ්ලස්


  • ඉදුනු විට ගෙඩි තද රතු පැහැතිය.
  • ගෙඩි තරමක් කුඩාය
  • මදය මනා පැණි රසයකින් යුක්තය. යුෂ සහිත මදය එතරම් හොඳින් නොගැලවේ.
  • පිට පොත්තෙහි කෙදි තුනීව පිහිටා ඇත. කෙදි දිගින් අඩුය.
  • පොත්තෙහි ඇතුල් පැත්ත ලා රතු පාටය.
  • මෙම වර්ගයේ බීජ කුඩාය. බීජ මඟින් හටගන්නා පැළ දුර්වල නිසා ග්‍රාහක ලෙස යොදා ගැනීමට සුදුසු නැත.


ජාවා සින්ජන්ජාන්


  • ඉදුනු ගෙඩි කුණු ලේ පැහැයක් ගනී.
  • අණ්ඩාකාර හැඩතිය. ගෙඩියක දිග සෙන්ටිමීටර් 3.5 - 4.0 පමණ වේ.
  • ගෙඩියේ පිටතින් ඇති කෙදි මධ්‍යස්ථ දිගකින් යුක්තය.
  • මදය ඝනකමින් අඩුය. ඒ නිසා ගැලවීම අපහසුය.
  • මදය ඇඹුල් පැණි රසැතිය.


දේශගුණය

මුහුදු මට්ටමේ සිට උස අඩි 500 පමණ උස්වූ ප්‍රදේශ රඹුටන් වගාව සඳහා සුදුසුය. වර්ෂාපතනය මි.මී. 1500 - 2000 පමණ විය යුතු අතර පරිසර උෂ්නත්වය 27 - 30 පමණ සෑහේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය 75% - 80% වූ ප්‍රදේශ රඹුටන් වගාවට හිතකර වේ.

රඹුටන් වගාවේ මල් හටගැනීම උත්තේජනය කිරීම සඳහා සති 2 - 3 වියලි කාලගුණයක් අවශය වේ. පෙබරවාරි සහ මාර්තු මාසවල ඇති වන වියලි තත්වයන් හේතුවෙන් රඹු‍ටන් මල්හට ගැනීම සිදු වේ. නමුත් මල් හටගන්නා කාලය තුල (පෙබරවාරි- මාර්තු) වර්ෂාව ලැබුණ‍‍හොත් මල් උත්තේජනය වීම වෙනුවට අතු හටගැනීමක් සිදු වේ. එබැවින් රඹුටන් ඵලදාව කෙරෙහි දේශගුණික සාධක සෘජුවම බලපායි.

පස

හොඳින් ජල වහනය වන ලෝම පස වගාව සඳහා ඉතා සුදුසුය. මෙයට අමතරව පසෙහි ගැඹුර මීටර් 2-3 පමණ මට්ටමකින් පැවතීමද වගාවේ සාර්ථකත්වයට බලපායි.

වලවල් සැකසීම



පැළ අතර පරතරය මීටර් 10 x 10 x 10 හො 10 x 8 ලෙස ගෙන ක්ෂේත්‍රය සලකුණු කරන ලද ස්ථානවල සෙන්ටිමීටර් 60 x 60 x 60 වලවල් කපාගන්න. නියමිත පොහොර මිශ්‍රණය සහ කොම්පෝස්ට් යොදා වල පුරවාගන්න.

පැළ සිටුවීම

මෝසම් වැසි ආරම්භයත් සමඟ පැළ සිටුවීම සිදු කිරීම යෝග්‍යය. මුල් වලට හානි නොවන සේ පොලිතීන් කවරය ප්‍රවේශමෙන් ඉවත්කර පස් කුට්ටිය ඉහිරී නොයන පරිදි වලෙහි මැද සිටුවන්න. පැළය අසලින් ආධාරකයක් සිටුවා පැළය එයට තබා ප්‍රවේශමෙන් ගැට ගසන්න. ක්ෂේත්‍රයේ සිටවූ මුල් කාලය තුල සෙවන සැපයීම අවශ්‍යය.

පැළ නිෂ්පාදනය

වාණිජ වගාවක් සඳහා නම් වඩාත් සුදුසු වන්නේ ගුණාත්මක ඉහල අස්වැන්නක් ලබාදෙන නිර්දේශිත ප්‍රභේදයක බද්ධ පැළ සිටුවීමයි. බීජ පැළ සිටුවීම මඟින් හටගන්නා ශාකයන්හී ගෙඩිවල ගුණාත්මය කෙබඳු විය හැකිද යන්න පිළිබඳව ස්ථීර නිගමනයකට එළඹිය නොහැකිය. එමෙන්ම එම ගස් වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් පිරිමි මල් පමණක් හටගන්නා ගස් වීමටද ඉඩතිබේ. එනිසා බීජ පැළ වගා කිරීම නිර්දේශ කරනු නොලැබේ.

බද්ධ කිරීම

බද්ධ කිරීම සඳහා නිර්දේශිත ප්‍රභේදයක් තෝරා ගත යුතුය. බද්ධ කිරීමේදී ග්‍රාහක පැළ වශයෙන් යොදා ගනුයේ බීජ තවාන් කර ලබාගත් පැළ වේ. බීජ තවාන් කිරීමේදී ප්‍රමාණයෙන් විශාල කෘමි හානි හෝ රෝග වලින් තොර බීජ ලබාගැනීම අත්‍යාවශ්‍යය.

බීජ හොඳින් සෝදා කොහුබත් හෝ වැලි තවානක තවාන් කරන්න. හොඳින් ජලය සම්පාදනය කරන්න. තවානේ සති 2 පමණ වන පැළ බඳුන්වල සිටුවිය යුතුය.

බඳුන් මිශ්‍රණය කොම්පෝස්ට්, මතුපිට පස්, වැලි 1 : 1 : 1 ලෙස ගෙන හොඳින් මිශ්‍ර කරගත යුතුය. අඟල් 8 පළල අඟල් 10 උස පොලිතීන් කවරවලට මිශ්‍රණය පුරවා ගන්න. පැළ මුල් නොකැඩෙන ලෙස ප්‍රවේශමෙන් ගලවා බඳුන්වල සිටුවන්න. බීජ තවාන් නොකර කෙලින්ම බඳුන්වල සිටුවීමද කල හැකිය. පැළ බද්ධ කිරීමට සුදුසු වන්නේ පැළවල මාස 5 - 6 ක් පමණ ගතවූ පසුය. එනිසා එතෙක් පැළ හොඳින් නඩත්තු කල යුතුය. පැන්සලක තරම් මහත කඳ බද්ධ කිරීමට සුදුසු වේ.

අනුජය සඳහා යොදා ගන්නා අතු කපා ගත යුත්තේ බද්ධ කරන අවස්ථාවේදීමය. රඹුටන් සඳහා යොදා ගන්නේ පැච් බද්ධය / පැලැස්තර බද්ධයයි.

පළමුව ග්‍රාහකයේ සෙන්ටි මීටර් 15 ක පමණ ඉහලින් බද්ධ පිහිය ආධාරයෙන් පොතු කැබැල්ලක් ප්‍රවේශමෙන් ගලවා ඉවත් කරන්න. අනුජය සඳහා අංකුරයක් සහිත එම ප්‍රමාණයෙන් පොතු කැබැල්ලක් ගලවා ග්‍රාහකයේ පොත්ත ගැලවූ ස්ථානයේ තබා පොලිතීන් පටියකින් වෙලන්න.

බද්ධ කරන ලද පැළ සෙවන් තබන්න. බද්ධ කර සති 3 කින් පමණ පොලිතීන් පටි ඉවත් කරන්න. අංකුරය හොඳින් වර්ධනය වල විට පැළය ටිකෙන් ටික ආලෝකයට හුරු කරන්න. බද්ධකර මාස 3 - 4 වයස වූ පැළ (බද්ධ සන්ධියට ඉහලින් නීරෝගී කොළ 5ක් සහිත) බද්ධ අංකුරය හොඳින් පවතී නම් ග්‍රාහක කඳ බද්ධ සන්ධියේ සිට සෙන්ටිමීටර් 6 පමණ ඉහලින් ආනතව කපන්න. එවිට අංකුර වැඩීමට පටන් ගනී.

ආරුක්කු බද්ධය

ග්‍රාහකය සකසා ගැනීම - මේ සඳහා පැන්සලක තරම් මහත කඳක් සහිත ග්‍රාහක පැළයක් තෝරා ගන්න. එහි සෙන්ටිමීටර් 20 ක් පමණ ඉහළින් කඳ කපා දමන්න. පැළය ප්‍රවේශමෙන් උදුරා මුල් හා ඇලී ඇති පස් සොදන්න. දිගින් වැඩි මුල් කපා දමා මුල් වැඩීම උත්තේජනය කරන හෝමෝනයක ගිල්වා තබන්න. (රූටෝන්) ඉන්පසු තෙත කොහුබත් සහිත පොලිතීන් බඳුනක සිටුවන්න.

අනුජය සකසා ගැනීම - තෝරාගත් මව් ගසකින් කලින් සකස්කරගත් ග්‍රාහකය හොඳින් හේත්තු කරගත හැකි අත්තක් තෝරා ගන්න. මෙම අත්ත තරමක් සෘජුව වර්ධනය වී තිබීම වඩා සුදුසුය. එම අත්තේ යටි පැත්තේ සුදුසු ස්ථානයකින් එහි කාෂ්ඨිය කොටසද කැපී යන පරිදි සෙන්ටිමීටර් 5 පමණ දිග කැපුමක් යොදන්න.

ග්‍රාහක ‍කදෙහි කැපූ කෙළවර ආනතව සකස්කර එහි මුහුණත අනුජ අත්තෙහි කැපුම සමඟ හොඳින් ස්පර්ශ වන ලෙස තබා පොලිතීන් පටිවලින් වෙලන්න. එසේම ග්‍රාහක පැළය ‍සිටුවා ඇති පොලිතීන් බඳුනද අනුජ අත්තේ කැපුමට පහලින් ඇති කොටස සමඟ හොඳින් ගැට ගසන්න.

බද්ධකර මසකට පසුව යොදාගත් ග්‍රාහක පැළයේ මූල මණ්ඩලය පොලිතීන් තුලින් පරීක්ෂා කර බලන්න. එහි කිරි මුල් වර්ධනය වී තිබේනම් සති 2 කට පසුව අනුජ රිකිල්ලේ බද්ධ සන්ධියට විරුද්ධ පැත්තේ සෙන්ටිමීටර් 5 ක පමණ කුඩා කැපුමක් යොදන්න. බද්ධය සාර්ථක නම් තවත් සති 2 කින් පසුව අනුජය මව් ගසෙන් වෙන් කරන්න. මෙසේ වෙන්කරගත් පැළය බදුන්ගත කරන්න.

අතු බැදීම



උසස් ලක්ෂණ සහිත මව් ගසක නීරෝගී අත්තක් තෝරාගෙන එහි පොතු වලයක් ඉවත් කරන්න. එම ස්ථානයේ මුල් ඇදීම උත්තේජනය කරන හෝමෝනයක් ආලේප කර තෙත කොහුබත් තබා පොලිතීන් කොලයකින් ආවරණය කර හොඳන් ගැට ගසන්න. මුල් වර්ධනය වීම පොලිතීන් තුලින් නිරීක්ෂණය කල හැක. හොඳින් මුල් වර්ධනය වූ අතු කැබැල්ල මව් ශාකයෙන් කපා ඉවත් කරගැනීමට පෙර සති 3 කට පෙර අත්තේ ලේයර්කරන ලද ස්ථානයට සෙන්ටිමීටර් 5 පමණ පහලින් හොඳින් වැඩී ඇති අංකුරයක් ආසන්නයේ V හැඩති කැපුමක් යොදන්න. පළමුව මෙම කැපුම අත්තේ 1/3 පමණ ගැඹුරට යොදා නැවත සති 1 කට පසු අතු කැබැල්ල මව් ශාකයෙන් වෙන්කර බඳුන්ගත කරන්න. බඳුන් කල පැළය සෙවන සහිත ස්ථානයක තබන්න. මෙම ක්‍රමයට සාදාගන්නා පැළ දිගු වියළි කාලයට ඔරොත්තු නොදේ.

සෙවන සැපයීම


බද්ධ කරන ලද පැළ ස්ථීර බිමෙහි සිටුවීමේදී තද හිරු රැස් වලින් කුඩා පැළමත ඇති කරන පිලිස්සීම වැලැක්වීමට සෙවන සැපයීම ඉතා වැදගත් වේ. පොල් අතු ආධාර කරගෙන පැළයට අවශ්‍ය සෙවන ලබාදිය හැකිය.

කප්පාදුව හා නඩත්තුව

සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට පැළයක් මනා ලෙස කප්පාදු කිරීම හා නඩත්තුව අත්‍යාවශ්‍ය වේ. පැළ කුඩා කාලයේ ග්‍රාහක කදෙන් එන රිකිලි වරින් වර ඉවත් කල යුතුය. සෑම දිශාවකටම අතු විහිදෙන සේ ගස කුඩාකල සිටම පුහුණු කල යුතුය.

රඹුටන් ගස්වල මල් පිපීම සිදුවනුයේ අතු කෙළවරෙහිය. එනිසා අතුවලට හොඳින් සූර්යාලෝකය ලැබිය යුතුය. අතු 4-5 ප්‍රතිවිරුද්ධ දිශාවනට වැඩීමට සලස්වන්න. එම අතු වලින් පාර්ශ්වික අතු වර්ධනය වන විට එකිනෙක හා ගැටෙන අතු ඉවත් කරන්න. එවිට අතු අතර තරඟකාරී බව අඩුවී හොඳින් මල් හටගැනීම සිදු වේ. ගසක් පුහුණු කිරීමෙන් හා හොඳ සැකිල්ලක් සහිතව නඩත්තු කිරීමෙන් වැඩි අස්වැන්නක් ලැබීම හා අස්වනු නෙලා ගැනීම පහසු වේ. රෝග අවම කරගත හැකි අතර පාලනයද පහසු වේ.

සෑම වසරකම අස්වැන්න නෙලාගත් පසු කප්පාදුව සිදුකරන්න. අතු කැපීමේදී ඒවා ගසට ඉතාමත් ලඟින් කපන්න. විශාල අතු කැපීමේදී ඒවා ගසට ආනතව කපන්න. කැපුම් මුහුණත කන්ඩසාන් ආලේප කිරීම මඟින් අතු දිරායාම වැලැක්විය හැක. ගසේ අතු වලින් කෙලින්ම ඉහලට වැඩෙන රිකිළි දිය රිකිළි ලෙස හඳුන්වයි. කප්පාදුවේදී දිය රිකිළි, රෝගි අතු, දුර්වල ලෙස වැඩෙන අතු, දිරාගිය අතු, බිම ගෑවෙන අතු මෙන්ම ඉතාමත් ‍ඉහළට වැඩෙන අතුද ඉවත් කල යුතුය.


හොදින් නඩත්තු කරන ලද රඹුටන් ගස්

ගස් පුනරුත්තාපනය

‍ගෙඩි නොසෑදෙන මල් රඹුටන් ගස් (පිරිමි ගස්) කුඩා ගෙඩි හටගන්නා ගස් ඇඹුල් රසැති හෝ මදය පහසුවෙන් නොගැලවෙන ගෙඩි හටගන්නා ගස් පුනරුත්ථාපනය මඟින් නැවතත් උසස් ගුණාත්මයෙන් වැඩි ඵල හටගන්නා ගස් බවට පත් කරගත හැකියි. මෙහිදී එම ගස්වල විශාල අතු කපා ඉවත් කරන්න. ඉන්පසු පො‍ළව මට්ටමේ සිට අඩි 2 - 3 කින් කඳ කපා ඉවත් කරන්න. දිලීර ආසාදන වැලැක්වීමට කැපුම් පෘෂ්ඨය මත කන්ඩසාන් ආලේප කරන්න.

ඉන්පසු කදෙන් රිකිලි මතුවීමට පටන් ගනී. ඒවායින් හොඳ රිකිලි 6 - 8 පමණ කදේ ප්‍රතිවිරුද්ධ දිශාවනට වැඩීමට සලස්වන්න. එසේ වැඩුණු රිකිලි ඇඟිල්ලක් තරම් මහත්වූ විට තෝරාගත් මව් ගසකින් ලබාගත් අංකුර යොදාගෙන පැච් බද්ධය සිදු කරන්න. මෙම අංකුර වලින් හටගන්නා ගස්වලින් වසර 3 - 4 කදී පළමුව අස්වැන්න ලබාගත හැකිය.

මේ ආකාරයට හොඳින් නඩත්තු නොකල විශාල බද්ධ ගස්ද පුනරුත්තාපනය කල හැක. ඉහත ආකාරයටම කඳ පොළව මට්ටමේ සිට අඩි 2 - 3 කින් කපා දමා කන්ඩසාන් ආලේප කරන්න. තෝරාගත් අතු 6 - 8 පමණ ප්‍රතිවිරුද්ධ දිශාවනට වැඩීමට සලස්වන්න. එසේ වැඩෙන අතු හොඳින් පුහුණු කර කප්පාදුකර මනා සැකිල්ලක් සහිතව සකසා ගැනීමෙන් අස්වනු නෙලීම පහසු වේ.

         
කද කපා ඉවත් කරන ලද ගසක්               පැච් බද්ධ සිදු කිරීම
වල් පැලෑටි පාලනය

ගස් වටා මීටර් 1 ක් පමණ දුරක් ඇතුලත ඇති වල් පැලෑටි උදුලු ගෑමෙන් හෝ කැත්තක් ආධාරයෙන් මර්ධනය කළ හැකිය. වල් පැලෑටි මර්ධනය අවුරුද්දකට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්ය.

පොහොර යෙදීම



සිටුවීමට පෙර කාබනික පොහොර කි.ග්‍රෑම් 10ක් සහ ඩොලමයිට් ග්‍රෑම් 500ක් වලකට යොදා සති 2ක් පමණ තබන්න. ඉන්පසු පහත රසායනික පොහොර මිශ්‍රණ ගසේ වයස මත යෙදීමට ක්‍රියාකරන්න. නමුත් මෙම නිර්දේශය වාණිජ වගාවන් සඳහා වන අතර ගෙවත්තේ පවතින ගස් 1 - 2 සඳහා මේ ආකාරයට පොහොර යෙදීම අත්‍යාවශ්‍ය නොවේ.

යොදන කාලය

යොදන පොහොර ප්‍රමාණය ගසකට ග්‍රෑම්

-

යූරියා

රොක් පොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කීසරයිට්

සිටුවීමට පෙර (වලකට)

120

225

100

-

පළමු වසර තුල මාස 4කට වරක්

40

75

40

-

දෙවන වසර තුල මාස 4කට වරක්

80

150

80

-

තුන්වන වසර තුල මාස 4කට වරක්

110

225

110

-

වයස අවු 4 - 7 අතර ඵල හටගන්නා ගස් සඳහා

අස්වැන්න නෙලු පසු

450

550

260

100

ප්‍රධාන මල් වාරයට පසු

150

550

260

-

අවුරුදු 8 වැඩි ඵල හටගන්නා ගස් සඳහා

අස්වැන්න නෙලු පසු

600

750

350

100

ප්‍රධාන මල් වාරයට පසු

200

750

350

-


ජලය සැපයීම



බද්ධ පැළ ක්ෂේත්‍රයේ සිටුවා පළමු අවුරුදු 2 - 3 පමණ ගතවන තෙක් වියළි කාලයන්හීද ජල සම්පාදනය කරන්න.

කෘමි පාලනය

ලේන්නු, කපුටන්, වඳුරන් හා වවුලන් වැනි සතුන් නිසා රඹුටන් ගෙඩි වලට හානි සිදු වේ. මෙය පාලනය කිරීම සඳහා ටක සෙලවීම, රතිඤ්ඤා පිපිරවීම හා රාත්‍රී කාලයේදී ගස් ආලෝකමත් කිරීම වැනි උපක්‍රම යොදාගත හැකිය.

කෘමීන් නිසා අස්වැන්නට සෘජු හානියක් නොවූවද එම කෘමීන් නෙලාගත් ගෙඩි මත සිටීම නිසා අස්වැන්නේ ගුණාත්මය පහත වැටේ.

පිටි මකුණා

  • මෙම කෘමියා ගෙඩි මතුපිට ඒකරාශී වී සිටී
  • කෘමියා විසින් ශ්‍රාවය කරනු ලබන පිටි වැනි ද්‍රව්‍යයක් තැවරීම නිසා ගෙඩියේ පිට පොත්ත සහ කෙඳි සුදු පාට වේ.
  • තවද කෘමියාගේ සිරුරෙන් පිටවන සීනි අඩංගු අපද්‍රව්‍ය මත දිලීර වර්ධනය වේ.
  • එවිට ගෙඩියේ පිට පොත්තෙහි කළු පැහැති පැල්ලම් ඇති වේ.

පාලනය

  • රඹුටන් වගාව පිරිසිදුව තබා ගැනීම මඟින් කුහුඹුවන් බෝවීම වලක්වා ගත හැකිය.
  • ගසේ ප්‍රධාන කදෙහි අඩි 2 ක් පමණ ඉහලින් කඳ වටා ග්‍රීස් තැවරීම මඟින් කුහුඹුවන් මඟින් පිටි මකුණන් ගෙනයාම වලක්වා ගත හැකිය.
  • සතියකට පමණ වරක් බැඟින් මෙම ග්‍රීස් තට්ටුව අළුත් කරන්න.

ගෙඩි විදින පණුවා

  • කීටයා විසින් ගෙඩියේ පොත්ත, මදය සහ සමහරවිට බීජයටද හානි පමුණුවනු ලැබේ.
  • කීටයා ගෙඩිය තුලට ඇතුල්වන්නේ බොහෝ විට එය නටුවට සවිවී ඇති ස්ථානයට ආසන්නවය.
  • ගෙඩි ඉදීමට පටන්ගන්නා අවස්ථාවේදී හානිය දරුණු විය හැකිය.
  • හානිවූ ගෙඩි හඳුනාගත හැකි වන්නේ ගෙඩි විවෘත කර පරීක්ෂා කල විට පමණකි.

පාලනය
මේරීමට පටන් ගන්නා අවස්ථාවේදී රඹුටන් පොකුරු සිදුරු කරන ලද කඩදාසි හෝ පොලිතීන් උර වලින් ආවරණය කරන්න. කෘමියාට ජීවත්විය හැකි වෙනත් ධාරක ශාක රඹුටන් වගාව ආසන්නයේ තිබීමට ඉඩ නොදෙන්න.
උදා :- කොකෝවා, නමිනම්

  • කූඹින් පාලනය කිරීමටද රඹුටන් ගෙඩි විඳින පණුවන්ගේ හානිය අඩුකර ගැනීමට රුකුලක් වේ.
  • ගස්යට වැ‍ටී ඇති රඹුටන් ලෙලි හා ගෙඩි ආදිය වගාවෙන් ඉවත්කර පුළුස්සා දමන්න.

පලතුරු මැස්සා

  • ඉදීමට ආසන්න ගෙඩිවල පොත්ත සිදුරු කර වැඩුන කෘමියා විසින් බිත්තර දමයි.
  • බිත්තරවලින් පිටවන කුඩා කීටයන් රඹුටන් මදය අර්ධ දියර තත්ත්වයකට පත්කර ඒ මත ජීවත්වේ.
  • මෙසේ වැඩෙන කීටයා සහිත රඹුටන් ගෙඩි බිම පතිත වූ විට පිලා අවස්ථාව පස තුල ගත කරයි.

පාලනය
ගස් යට වැටී ඇති රඹුටන් ගෙඩි අසුලා විනාශ කරන්න. ගස අවට ප්‍රදේශයේ පස, රේක්කයකින් අවුස්සන්න.

මීතයිල්, ඉයුජිනෝල් නම් රසායනික ද්‍රව්‍ය අඩංගු උගුල් වගාවේ එල්ලා තබන්න. එවිට මෙම උගුල් කරා කෘමින් ආකර්ශනය වී විනාශ වේ.

කඳ විදින කුරුමිණියා

  • කුඩා ප්‍රමාණයේ කළු දුඹුරු පැහැති කුරුමිණියෙකි.
  • වැඩුණු කුරුමිණියා විසින් කුඩා රඹුටන් පැළවල කදෙහි උමං සාදා ඒ තුළ බිත්තර දමා ජීවන චක්‍රය උමං තුලදීම සම්පූර්ණ කරගනී


පාලනය

  • ඉමිඩක්ලෝප්‍රීඩ් කෘමිනාශකයෙන් මි.ලී. 1ක් ජලය ලීටරයක මිශ්‍ර කර පැළවලට ඉසින්න


කඳ විදින පණුවා

  • රතු දුඹුරු පැහැති පණුවා විසින් කුඩා පැළවල කදෙහි පටක කා දමයි


පාලනය

  • ඉමිඩක්ලෝප්‍රීඩ් කෘමිනාශකයෙන් මි.ලී. 1ක් ජලය ලීටරයක මිශ්‍ර කර පැළවලට ඉසින්න

රෝග පාලනය


පිටිපුස් රෝගය

මෙම දිලීරය සුදුපැහැ වේ. දිලීර ජාලය හා බීජාණු කුඩු ලෙස ලපටි පත්‍ර, මල්, නොමේරූ ඵල හා අංකුර මතුපිට සුදු පාටින් දැකිය හැකිය. මෙම බීජාණු තද වර්ෂාව හා අධික හිරුරැස් පවතින කල්හී ප්‍රරෝහනය නොවේ.

ව්‍යාප්ත වූ දිලීර ජාලය මගින් සෛවල පෝෂක ද්‍රව්‍ය උරාගන්නා බැවින් ඒවා කළු පැහැ ගැන්වී, වියළි හැලී යයි. ආසාදිත ගෙඩි තව දුරටත් මේරීමේදී පිට පොත්ත හැලීයා හැකිය. තවද ගෙඩියේ පොත්තේ මැරුණු කෙදි හා පිට පොත්ත ප්‍රකෘති තත්ත්වයට පත් නොවන බැවින් ගෙඩියේ ආකර්ශනීය බව හීන වී යයි. ළපටි පත්‍ර ආසාධනය වූ විට කහපැහැ ගැන්වී හැකිලී යයි. මෙම රෝගය පිටි මකුණාගේ හානියට තරමක් සමාන බැවින් නිවැරදිව හදුනාගත හැකියි. මල් හා කුඩා ගෙඩි හානි වූ විට ඒවා හැලී යන නිසා සම්පූර්ණ අස්වැන්නම විනාශ වේ.

පාලනය

මල් පිපීමට පෙර

  • ශාක වියන තුලට හිරුඑළිය හා වාතාශ්‍රය හොදින් ලැබෙන පරිදි අනවශ්‍ය අතු රිකිලි කප්පාදු කිරීම
  • ඉහත කන්නයේ ආසාදිත කොටස් ඉවත්කර විනාශ කිරීම
  • නිර්දේශිත පොහොර භාවිතය
  • වගාව තුල ආසාදනයක් ඇත්දැයි සුපරික්ෂාකාරී වීම


රසායනික මර්ධනය

නිර්දේශිත දිලීරනාශකයකින් එනම් ගෙන්දගම් කුඩු 80%, ග්‍රෑම් 50 ක් ජලය ලීටර් 10කට, ක්ලෝරොතැලොනිල් (500) මි.ලී. 15ක් ජලය ලීටර් 10කට, බීටර්ටැනෝල් මි.ලී. 10ක් ජලය ලීටර් 10කට, තයෝෆනේට් මෙතල් 70% ග්‍රෑම් 5.5 ක් ජලය ලීටර් 10කට මිශ්‍රකර යෙදිය හැකිය. ගෙන්දගම් කුඩු විෂ අඩු ලාභදායී නිසා එය වඩාත් සුදුසුය. මෙම දිලීරනාශක වගාවේ රෝග තත්ත්වය මත දළු අවස්ථාවේ සහ කුඩා ගෙඩි පවතින අවස්ථාවේ වගාවට යොදන්න. මේ සදහා බලවේග ඉසින යන්ත්‍රයක් හෝ නැප්සැන් යන්ත්‍රයක් උපයෝගි කරගත යුතුය. සකස් කරගත් ස්ප්‍රේ යන්ත්‍රයකින් උස ගස්වලට රසායනික ද්‍රව්‍ය ස්ප්‍රේ කළ හැක.

අස්වැන්න

බද්ධ රඹුටන් ගසකින් වසර 3 - 4 දී පළමු අස්වැන්න නෙලාගත හැකිය. ඉහල ආර්ථික අස්වැන්නක් ලබා ගැනීමට නම් වසර 7 - 8 ක කාලයක් ගතවේ.

පහතරට හා මැදරට තෙත් කලාපයන්හී අස්වනු ලබාගැනීම සිදුවනුයේ ජුනි - අගෝස්තු කාලය වන අතර අන්තර් කලාපයේ එය ජනවාරි මාර්තු දක්වා වේ. අස්වනු නෙලීම කාලගුණික වෙනස්වීම් මත සුළු වශයෙන් වෙනස් විය හැකිය.

හොඳින් පාලනය කරන වැඩුණු රඹුටන් ගසකින් වසරකට කිලෝ ග්‍රෑම් 200 ක පමණ (ගෙඩි 6000) අස්වැන්නක් ලබාගත හැකි වේ.

රඹුටන් අස්වනු නෙලීමට සුදුසුම අවස්ථාව වන්නේ එහි ආවේනික පැහැය ගෙඩිවල දක්නට ලැබීමේදීය. රඹුටන් කඩා තිබියදී තව දුරටත් ඉදීම සිදුනොවේ. එබැවින් රඹු‍ටන් වෙළඳපොලට යැවීමට සදුසුම අවස්ථාවේදීම අස්වනු නෙලාගත යුතුය. අස්වනු පොකුරු වශයෙන් නෙලා ගැනීම වැදගත් වනුයේ එයින් යම් කප්පාදුවක්ද වන බැවිනි. නෙලා ගන්නා පොකුරු බිම් වැටීම වැලැක්වීමට දැලක් භාවිතා කිරීම හෝ මළු වලට කඩා ගැනීම සිදු කල හැකිය. බම සිට අස්වනු නෙලන්නේ නම් අස්වනු නෙලන උපකරණයක් භාවිතා කල හැකිය.

පසු අස්වැන්න

පොල් අතුවලින් සකසා ගත් කූඩාවලට හෝ කෙසෙල් කෙළ හෝ රඹුටන් කොළ අසුරා ඒ මත රඹුටන් ඇසිරිය යුතුය. ඉන්පසු කූඩය අමු කොල අතු වලින්ම වසන්න.

තැලුනු ගෙඩි, රෝග සහිත ගෙඩි ආදිය ඉවත්කර හොඳන් තෝරාගත් ගෙඩි වෙළඳපොලට ඉදිරිපත් කල යුතුය. සිදුරු කරන ලද පොලිතීන් බෑග්වල අසුරා ශීතකරනයක තැබීමෙන් (සෙන්ට්‍රිගේට් 18) දින 6 - 7 පෙනුම වෙනස් නොවී ගබඩා කර තබාගත හැකිය.

අපනයන වෙළඳපොල සඳහා සැකසීම

ඒකාකාර ප්‍රමාණයකින් යුතු නොතැලුනු, ආවේණික පැහැයෙන් යුක්ත ගෙඩි මේ සඳහා තෝරා ගත යුතුය. මෙම ගෙඩිවල පිට පොත්ත 75% පමණ වර්ණවත් වී තිබිය යුතුය.

ප්ලාස්ටික් හෝ රිජිෆෝම් පෙට්ටි වල ප්‍රවේශමෙන් අසුරා ඉන්පසු ඒවා කාඩ්බෝඩ් හෝ ලී පෙට්ටිවල අසුරා ගත යුතුය. වාතාශ්‍රය සඳහා සිදුරු සහිත පෙට්ටි යොදාගත යුතුය.

ගෙඩි පොකුරු පිටින් අසුරන්නේ නම් පොකුරක ගෙඩි 2 - 3 පමණ විය යුතුය. මුළු පෙට්ටියේ බර කිලෝ ග්‍රෑම් 4 - 5 පමණ විය යුතුය. තනි ගෙඩි වශයෙන් අසුරන විට පෙට්ටියක බර කිලෝ ග්‍රෑම් 2 විය යුතුය.