පේර (Guava)





ද්භිද විද්‍යාත්මක නාමය
- (Pasidium guajava)

හැදින්වීම
ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය පේර විටමින් සී, දල තන්තු හා කැල්සියම් බහුල පලතුරකි. දකුණු මෙක්සිකෝව සහ මධ්‍යම ඇමෙරිකාව ආශ්‍රිත ප්‍රදේශ නිජබිම කරගත් නමුත් එය දැන් ලොව පුරා පැතිරී ඇත. පේර අලුත් පලතුරක් මෙන්ම විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගැනෙයි. කැබලි ලෙස ටින්වල ඇසිරීමටද, ජෑම්, ජෙලි, චට්නි, යුෂ, ක්‍රීම් තැවරු අයිස්ක්‍රීම් හා බේකරි නිෂ්පාදන සඳහාද ‍යොදාගනී.

දැනට ශ්‍රී ලංකාවේ ඇති සමස්ත පේර වගාව හෙක්ටයාර 400 - 500 අතර ප්‍රමාණයකි. හම්බන්තොට, මන්නාරම, පුත්තලම හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි වාණිජ මට්ටමින් පේර වගාව සිදු කරයි. ගෙවත්තටද ඉතා සුදුසු පලතුරු ශාකයකි. පේර නිවැසියන්ගේ විටමින් අවශ්‍යතාවය සරලව විසඳා දෙන්නෙකි.

පෝෂණීය අගය
ඉදුණු මදය ග්‍රෑම් 100ක අඩංගු දෑ

පදාර්ථය

ප්‍රමාණය

ජලය

ග්‍රෑම් 81.7

ශක්තිය

කිලෝකැලරි 51.0

මාංශ ජනක ධාතු

ග්‍රෑම් 0.9

මේදය

ග්‍රෑම් 0.3

පිෂ්ඨධාතු

ග්‍රෑම් 11.2

කැල්සියම්

මිලිග්‍රෑම් 10.0

පොස්පරස්

මිලිග්‍රෑම් 28.0

යකඩ

මිලිග්‍රෑම් 1.4

තයමින්

මයික්‍රොග්‍රෑම් 30.0

රයිබොප්ලේවින්

මයික්‍රොග්‍රෑම් 30.0

නයසීන්

මිලිග්‍රෑම් 0.4

විටමින් සී

මිලිග්‍රෑම් 212.0

ප්‍රභේද
හොරණ රතු



  • ගෙඩි මධ්‍යස්ථ ප්‍රමාණ ගනී.
  • මදය දීප්තිමත් තද රෝසවන් රතු පැහැයක් ගනී.
  • ගෙඩියක බීජ 7.5% පමණ වේ.
  • වසරකට ගසකින් ගෙඩි කිලෝග්‍රෑම් 45 ක පමණ (හෙක්ටයාරයට ටොන් 17) සාමාන්‍ය අස්වැන්නක් ලබාගත හැකිය

හොරණ සුදු


  • ගෙඩි රවුම් හැඩ ගනී.
  • මදය කහවන් කොළ පැහැයක් ගනී.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 230 පමණ වේ.
  • මෙම ප්‍රභේදයෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකිය.
  • වසරකට ගසකින් ගෙඩි කිලෝග්‍රෑම් 50 පමණ (හෙක්ටයාර 1 ට ටොන් 20) අස්වැන්නක් ලබාගත හැකිය.

පුබුදු


  • මෙම ප්‍රභේදයේ ගෙඩි පෙයාර්ස් හැඩතිය.
  • විශාල ප්‍රමාණයේ ගෙඩි හටගනී.
  • ගෙඩියක 4.5% ක පමණ බීජ ප්‍රතිශතයක් අඩංගුය.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 450ක් පමණ වේ.
  • ගෙඩිවල මදය කහවන් කොළ පාටය.
  • ගසකින් ගෙඩි කිලෝග්‍රෑම් 50 පමණ (හෙක්ටයාර 1 ට ටොන් 20 ) අස්වැන්නක් වසරකදී ලබාගත හැකිය.

නිර්දේශිත නව දෙමුහුම් පේර ප්‍රභේද
ලංකා ජයන්ට්

  • මෙම ප්‍රභේදය බැංකොක් ජයන්ට් x පුබුදු දෙමුහුමකි.
  • මෙහි ශාක අඩු උසක් (මීටර් 3.5 - 4 ) හා අඩු පැතිරීමක් (මීටර් 3.5 - 4) පෙන්වයි.
  • ඉතා ඉහළ අස්වැන්නක් ලබාදෙන අතරම මෙහි ගෙඩි ප්‍රමාණයෙන්ද විශාල වේ.
  • අස්වනු නෙලීම ආරම්භ වූ පසු පළමු වසරේදී ගසකින් කිලෝ ග්‍රෑම් 24 ( හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 9.6) ක් හා 2 වන වසරේදී ගසකින් කිලෝ ග්‍රෑම් 130 (හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 52 ) ක් පමණ ලැබෙන අතර ගෙඩිවල සාමාන්‍ය බර ග්‍රෑම් 250 - 600 අතර වේ.
  • මෙම ගෙඩි වටකුරු හෝ උස් වූ වටකුරු හැඩයක් ගන්නා අතර අඩු ඇට සංඛ්‍යාවක් සහිත වේ.
  • මදයේ පැහැය ලා කොළ පැහැයට හුරු කහ පැහැයක් ගන්නා අතර ප්‍රනීත රසයකින් හා ක්‍රිස්පි ස්වභාවයෙන් යුක්ත වේ.
  • නෙළා ගත් පසු නැවුම් බව නොනැසී වැඩි කලක් තබාගත හැකි වර්ගයකි.
  • මෙම ශාකයේ වර්ධන විලාසය හොරණ ස්වීට් ප්‍රභේදයට සමාන වනමුත් අස්වැන්න, මදයේ පැහැය හා රසය ඉන් වෙනස් වේ.

හොරණ ස්වීට්

  • පුබුදු x බැංකොක් ජයන්ට් දෙමුහුම් කිරීමෙන් නිපදවූ මෙම ප්‍රභේදයේ ගස් උසින් හා පැතිරීමෙන් අඩුය.
  • තුරු වියනය ලිහිල් වූ ස්වභාවයක් පෙන්වන අතර ඉහළ අස්වැන්නක් ලබාදේ.
  • මෙම ගෙඩි ප්‍රනීත රසයෙන් යුක්ත වන අතර වටකුරු හෝ උස්වූ වටකුරු හැඩයක් ගනී.
  • මදය කොළ පැහයට හුරු සුදු පැහැයක් ගන්නා අතර ක්‍රිස්පි ස්වභාවය හා ඇට සංඛ්‍යාව අඩුවීම යන ගුණාංගද සහිතය.
  • ඵල නෙලීම අරඹා පළමු වසරේදී ගසකින් ‍කිලෝ ග්‍රෑම් 30 ( හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 12 ) ක් හා 2 වන වසරේදී ගසකින් කිලෝ ග්‍රෑම් 100 ( හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 40 ) ක් පමණ ලබාදෙන අතර මෙහි ගෙඩිවල සාමාන්‍ය බර ග්‍රෑම් 250 - 500 අතර පවතී.

රෙඩි ජයන්ට්

  • බැංකොක් ජයන්ට් x හොරණ රෙඩ් දෙමුහුමක් වන මෙම ප්‍රභේදයේ ශාක මධ්‍යස්ථ උසකින් (මීටර් 4 - 4.5 ) හා හොඳින් පැතිරෙන (මීටර් 4.5 - 5 ) ලිහිල් වූ වියනකින් සමන්විත වේ.
  • අධික ලෙස ඵල දරන්නා වූ මෙම වර්ගයේ ගසකින් පළමු වසරේදී කිලෝ ග්‍රෑම් 40 - 45 (හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 16 - 18 ) පමණ ද දෙවන වසරේදී කිලෝ ග්‍රෑම් 100 (හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 40 ) කට නොඅඩු අස්වැන්නක් ද ලබාගත හැක.
  • ගෙඩි ඉලිප්සාකාර (Oblong ellipsoid) හැඩයක් ගන්නා අතර ප්‍රමාණයෙන් විශාල වේ.
  • ගෙඩිවල සාමාන්‍ය බර ග්‍රෑම් 250 - 400 අතර අගයක පවතී.
  • ඉදෙන විට ලෙල්ල කොළ පැහැයට හුරු කහ පැහැයක් ගනී.
  • ඵලයේ මදය රතු පැහැයක් ගනී.
  • ගෙඩියේ හැඩ හා මදයේ වර්ණය හොරණ රතු ප්‍රභේදයට සමාන වනමුත් මෙම වර්ගයේ ගෙඩි ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර ඉතා ඉහළ අස්වැන්නක් ද ලබාදෙයි.
  • නැවුම් පලතුරක් ලෙස භාවිතයට ගැනීමේදී නිවැරදි අවස්ථාවේ මදය රත් පැහැයෙන් යුත් නිසා මෙම වර්ගය නැවුම් පලතුරු බීම පිළියෙල කිරීමට විශේෂයෙන්ම උචිතය.

හොරණ රෝසි

  • මෙම ප්‍රභේදය බැංකොක් ජයන්ට් x සෆීඩා දෙමුහුමින් නිපදවා ඇති අතර එහි ශාක මධ්‍යස්ථ උසකින් හා මධ්‍යස්ථ පැතිරීමක් සහිත ගසකි.
  • පෙයාර්ස් හැඩයෙන් යුක්ත වන මෙම වර්ගයේ ගෙඩි දිලිසෙන සුමට පෘෂ්ඨයකින් යුතු වන අතර ඉතා දැකුම්කළුය.
  • ඉදෙන විට පොත්ත කහ පැහැ ගැන්වෙන අතර මදය රෝස පැහැ ගැන්වේ.
  • ෆෝමොප්සිස් සීඩී (PhomopsisPsidii) දිලීරය ඇති කරනු ලබන ස්ටයිලර් එන්ඩ් රොට් රෝගයට ප්‍රතිරෝධීතාවය පෙන්වීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.
  • පළමු වසරේදී ගසකින් කිලෝ ග්‍රෑම් 30 (හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 12 ) ක් පමණ ද දෙවන වසරේදී ගසකින් කිලෝ ග්‍රෑම් 85 - 90 (හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 34 - 36) ක් පමණ ද ලබාදේ.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 250 - 300 ක් අතර වේ.
  • ප්‍රනීත රසයෙන් යුතු මෙහි ගෙඩි නැවුම් පලතුරක් ලෙස භාවිතයට ගන්නා විට නිවැරදි අවස්ථාවේ නෙළා ගැනීම වැදගත් වේ.
  • මෙහි මදය රෝස පැහැයෙන් යුත් නිසා නැවුම් පලතුරු බීම පිළියෙල කිරීමට විශේෂයෙන්ම උචිතය.

දේශගුණය
මුහුදු මට්ටමේ සිට මීටර් 1500 - 2000 දක්වා තෙත් කලාපයේ මෙන්ම වියළි හා අතරමැදි කලාපවල පේර සාර්ථකව වගාකල හැක. වියළි කලාපයේ වර්ෂාව නොලැබෙන විටදී ජලය සැපයීම අවශ්‍ය වේ. උණුසුම් තෙත් කාලගුණයක් ඇති විට මල් හටගැනීම හිතකර වී අවුරුද්ද පුරාම ඵල දරයි. එහෙත් අධික වර්ෂාව දිගු කලක් ලැබෙන විට මල් හටගැනීම අඩුවේ.

පස

පේර ගස පුළුල් වූ පස් පරාසය වැවීමට පිළිවන. කාබනික ද්‍රව්‍ය සහිත ජල වහනය වන පස් වඩා සුදුසුය. නමුත් තද මැටි මෙන්ම වැලි අධික පස් වලද වගා කල හැකිය. ලවණතාවයට තරමක් ඔරොත්තුදීමේ හැකියාවක් ඇති අතර වෙනත් බෝග වගා කළ නොහැකි නොගැඹුරු භුගත ජල මට්ටමක් පවතින ස්ථානවලද තාවකාලිකව ජලයෙන් යටවන ස්ථානවලද පේර වගා කළ හැකිය.

පැළ නිපදවීම

බීජ වලින් ලබාගත් පැළවලට වඩා බද්ධ පැළ ගුණාත්මක බවින් ඉහළය. එනිසා සිටුවීමට බද්ධ පැළ යොදා ගැනීම වඩාත් සුදුසුය.

ග්‍රාහක සඳහා ඉදුනු ගෙඩිවල බීජ යොදා පවනේ වියළා ගත් බීජ වැලි තවානක සිටුවන්න. මෙම බීජ සති 2 - 3 දී ප්‍රරෝහණය වේ. බීජ පැළ සෙන්ටිමීටර් 4 ක් පමණ උස්වූ විට මතුපිට පස්, වැලි, ගොම පොහොර 1 : 1 : 2 මිශ්‍රණයක් ගෙන සෙන්ටිමීටර් 15 බඳුනක සිටුවන්න. දෙවනුව සෙන්ටිමීටර් 25 බඳුනක සිටුවන්න. මෙම පැළ මාස 5 - 7 ක් පමණ වූ විට හා කදේ විශ්කම්භය සෙන්ටිමීටර් 1ක් පමණ වූ විට බද්ධ කිරීම සඳහා යොදා ගත හැකිය. පේර සඳහා පැච් බද්ධය, චිප් බද්ධය, රිකිලි බද්ධය හා ලේයර් කිරීම සාර්ථකව යොදාගත හැකිය. මීට අමතරව මුදුන් බද්ධය (Top Work) මඟින් අස්වැන්න හා ගුණාත්මක බව අඩු හෝ වයස්ගත ගස් නිර්දේශිත ප්‍රභේද මඟින් ප්‍රතිස්ථාපනය කළහැක.

පැළවල බද්ධ අංකුර හෝ රිකිලි වැඩෙත්ම ක්‍රමයෙන් ලබාදෙන සූර්යාලෝක ප්‍රමාණය වැඩි කළ යුතුය. සෑමවිටම ග්‍රාහකයෙන් හටගන්නා රිකිලි ඉවත්කර බද්ධ රිකිල්ල පමණක් වැඩීමට සැලැස්විය යුතුය.

පැළ සිටුවීම

පැළ සිටුවීමට යොදා ගන්නා ස්ථානය‍ හොඳින් ජලය බැස යන හා හොඳින් ආලෝකය ලැබෙන ස්ථානයක් විය යුතුය. මීටර් 5 - 6 x 5 - 6 පරතරයට, සෙන්ටිමීටර් 60 x 60 x 60 ප්‍රමාණයට වලවල් සකසා ගත යුතුය. වැසි සමය ආරම්භයත් සමඟ පැළ සිටුවීමට යොදා ගන්න. පැළ සිටුවීමට සති 2 - 3 ට පෙර මතුපිට පස්, දිරූ ගොම පොහොර හා දිරූ කාබනික ද්‍රව්‍ය මිශ්‍රකර වලවල් මුදුන් වන සේ පුරවා තබන්න. පොලිතීන් කවරය ඉවත්කර පැළය පොළව මට්ටමට සිටින සේ සිටුවිය යුතුය. සති 1 - 2 ක් පමණ යනතුරු සෙවන සපයන්න.

ගස් පුහුණු කිරීම හා කප්පාදුව

බද්ධ සංධියට පහළින් ග්‍රාහකයේ හටගන්නා සියලුම අතු හා මුලෙන් වැඩෙන රිකිලි කපා ඉවත් කරන්න. ගස් සෙන්ටිමීටර් 60 - 75 ක් උසදී අග්‍රස්ථය ඉවත්කර අතු 4 - 6 ක් ලබාගන්න. එම අතු සෙන්ටිමීටර් 25 - 30 ක් වැඩුණු පසු නැවත අග්‍රස්ථය ඉවත්කර ද්විතීක අතු සහිත හොඳ සැකිල්ලක් ලබාගන්න. මෙලෙස ගසෙහි උස සෙන්ටිමීටර් 125 - 150 ක උසකින් පවත්වා ගන්න.

අතු තිරස්ව වැඩුනු විට අත්තක හටගන්නා ඵල ප්‍රමාණය සෘජුව ඉහළට වැඩෙන අතුවලට වඩා වැ‍ඩිවේ. මේ සඳහා අතු ආනතව අංශක (45 - 60) පවත්වා ගැනීමටත්, ගෙඩි බරට අතු කඩා වැටීම වැලැක්වීමටත්, අතුවලට ආධාරක කෝටු සපයන්න. මේ අතු එකිනෙකට විරුද්ධ දිශාවලට සමබරව වැඩීමට සලස්වන්න. මීට අමතරව එකිනෙකට අවහිරවන අතු ඇත්නම් හා ග්‍රාහක රිකිලි හා සෙන්ටිමීටර් 60 - 75 ක් යටින් ඇති වූ අතුද ඉවත් කරන්න.

ගෙඩි කඩා ගැනීමෙන් පසු අළුත් වර්ධක අංකුර හටගැනීම උත්තේජනය කිරීම සඳහා සෙන්ටිමීටර් 15ක් (පත්‍ර යුගල 2 - 3 ක්) ඉවත් කරන්න. කප්පාදු කළ පසු අනිවාර්යයෙන්ම පොහොර යෙදීම හා ජල සම්පාදනය කරන්න. කප්පාදු චක්‍ර 2ක් අතර කාලය මාස 8 - 9 කි.

ඵල තුනී කිරීම

එක පොකුරක ගෙඩි 1 - 2 ක් ඉතිරිකර වැඩිපුර ඇති ගෙඩි ඉවත් කළ යුතුය.

ජල සම්පාදනය
පැළය මදක් දැඩිවන තෙක් ජල සම්පාදනය අවශය වේ. ඉන්පසු ඉතාම දැඩි නියං කාලයකට හැරුණු විට ජලය යෙදීම අවශ්‍ය නොවේ.

වල් මර්ධනය

බද්ධ පැළය වටා ඇති වල් ගලවා ඉවත් කළ යුතුය. වියළි කාළගුණයක් පවතින විට වසුනක් යෙදීම සුදුසුය.

පොහොර භාවිතය

ආකාරය

යොදන කාලය

ආකාරය

පෝෂක ප්‍රමාණය

අළු හුණු

පැල සිටුවීමට සති 2ට පෙර

ඩොලමයිට්

වලකට ග්‍රෑම් 500

කාබනික පොහොර

පැල සිටුවීමට සති 2ට පෙර

කුකුල් හා ගොම පොහොර
හෝ කොම්පෝස්ට්

වලකට කිලෝ ග්‍රෑම් 10

රසායනික පොහොර

Urea

ROP

MOP

Kie

N

P2 O5

K2 O

MgO

සිටුවීමට පෙර (වලකට)

120

225

100

-

55

63

60

-

පළමු අවුරුද්ද සෑම මාස 4කට වරක්

40

75

40

-

19

21

24

-

දෙවන අවුරුද්ද සෑම මාස 4කට වරක්

60

115

55

-

28

32

33

-

ඵල හටගන්නා ගස් සඳහා

පළමු අවුරුද්ද සෑම මාස 4කට වරක්

100

200

90

100

46

56

54

24

දෙවන අවුරුද්ද සෑම මාස 4කට වරක්

125

250

105

-

28

70

63

-

තුන්වන අවුරුද්ද සෑම මාස 4කට වරක්

150

300

125

-

70

84

75

-

ඉන්පසු සෑම මාස 4කට වරක්

200

450

175

50

92

126

105

12


රෝග හා පළිබෝධ පාලනය
ගස් මැරීයාමේ රෝගය

Fusariunoxysporumහෝ Macrophominaphaseolinaනම් දිලීර රෝග කාරකය ලෙස සැලකේ. මෙම රෝගය ශාකයේ ඕනෑම වර්ධන අවධියක ඇතිවිය හැක.

ආරම්භයේදී පහළ අතු මියයාමට පටන් ගන්නා අතර පත්‍ර ටික කලකින් හැලී යයි. කඳ හා අතුවල පැලීම්ද ඇති වේ. පසුව ගස ක්‍රමයෙන් මිය යයි.

මර්ධනය
රෝගී ගස් ක්ෂේත්‍රයෙන් ඉවත්කර පුළුස්සා දැමීමෙන් සෙසු ගස්වලට රෝගය වැලදීම වලක්වා ගත හැකිය.

පසේ තෙතමනය වැඩිවීම රෝග තත්වය උග්‍ර කරන බැවින් ජලය බැසයාමට කානු පද්ධතියක් සැකසිය යුතුය. දිලීරනාශක භාවිතය රෝග පාලනයට එතරම් ප්‍රතිඵලදායක නොවුවත් කාබෙන්ඩසීම් පස හොඳින් තෙමීයන සේ යෙදීමෙන් රෝගය පැතිරීම පාලනය කළ හැක.

කබොළු රෝගය
මෙහි රෝග කාරකය PestalopsisPsidiනම් දිලීරයයි. මෙම දිලීරය ගෙඩි මත දුඹුරුපැහැ කබොළු ඇති කරන අතර මෙම කබොළු විශාල වීමේදී පැලීම් ඇතිවේ. පැලීම් නිසා වෙනත් දිලීරයන්ගේ ද්විතියීක ආසාදන සිදුවිම නිසා කළු පැහැති වී ඉක්මනින් කුණුවේ.

මර්ධනය

නිර්දේශිත පොහොර භාවිතය හා පේර ගස් මනා ලෙස කප්පාදු කිරීම රෝගය ඇතිකිරීම අවම කරයි. රෝගී ගෙඩිවල යුෂ උරාබොන කෘමින්ගේ හානිය, තුවාල හරහා සීඝ්‍රව ව්‍යාප්ත වේ. එමනිසා මෙම රෝගය පාලනය කිරිමට දිලීරනාශක යෙදිය යුතු අතර පසුව යුෂ උරාබොන කෘමින් මර්ධනයට අවශ්‍ය කෘමිනාශක යෙදිම වැදගත්ය. මේ සඳහා මැන්කොසෙබ්, ඩැකොනිල්, මැ‍නෙබ් වැනි දිලීරනාශක යොදා පසුව ඉමිඩක්ලෝප්‍රිඩ් වැනි කෘමිනාශකද යොදාගත හැක.

ඇන්ත්‍රැක්නෝස් රෝගය
Colletotrichumgloeosporioidesනම් දිලීර මෙම රෝග තත්ත්වය ඇති කරයි.

රෝග ලක්ෂණ
බොහෝ විට වර්ෂාකාලයේදී නොපැසුන ගෙඩි මත ඇල්පෙනිති තිත් තරම්වූ ලප ඇති කරයි. ක්‍රමයෙන් එම ලප විශාල වී තද ගතියෙන් යුක්ත ඇතුලට ගිලුනු රවුම් ආකාර දුඹුරුපැහැ පැල්ලම් ඇති කරයි. පසුව ආසාදිත පේර ගෙඩිය කලු පැහැවී ගසේ පවතී. මල් හා අතුවලටද රෝගය ආසාදනය විය හැක. මෙහිදි අතු ඉහළ සිට පහලට සිදුවිය හැකි අතර, අවසානයේදි ශාකයම මිය යයි. පත්‍රවල හැඩයේ වෙනස්විම් හා පත්‍රදාරය පිළිස්සුණු ලක්ෂණ පෙන්වයි. සමහර අවස්ථාවලදි රෝග කාරකය අක්‍රීය ලෙස පේර ගෙඩිය මත ජීවත් වී පසුව ඉදෙන අවස්ථාවේදි ක්‍රියාකාරවි ගෙඩි කුණුවිම ඇතිකරයි.

මර්ධනය
මනා ගස් කප්පාදුව තුලින් ගස තුලට හොඳින් හිරුඑළිය වැටීමට සැලැස්වීමෙන් රෝග ඇතිවීම අවම කරගත හැක. රසායනික ප්‍රතිකාර ලෙස ඩැකොනිල්, මැන්කොසෙබ් වැනි දිලීරනාශක යෙදිම සිදුකල හැකිය. තුවාල නොවනසේ ගෙඩි නෙලීම, සුදුසු ලෙස ඇසිරීම මෙම රෝගකාරකයින්ගේ පැතිරීම වලක්වාලයි.

පලිබෝධ හානි
පලතුරු මැස්සා Bactocera SPP.
රෝග ලක්ෂණ

පේර ගෙඩි පැසීගෙන එන විට පලතුරු මැස්සා ගෙඩි සිදුරුකර බිත්තර දමයි. බිත්තරවලින් පිටවන කීටයින් ගෙඩියේ මාංසල කොටස ආහාරයට ගනී. මේ නිසා ගෙඩි ආසාදනය වී කුණු වී යයි. මාංසල බව වැඩි මෘදු ගෙඩි හටගන්නා පේර වර්ග සඳහා මෙම සතුන්ගේ හානිය වැඩිවිය හැක.

මර්ධනය
හානිය පාලනය කිරිම සඳහා ගෙඩි තරමක් වර්ධනය වු විට කඩදාසි උර වැනි දෙයකින් ආවරණය කරන්න. ගෙඩි හොඳින් පැසීමට ඉඩ නොදී තරමක් පැසීගෙන එන විට කඩාගන්න. ගසයට වැටී ඇති ගෙඩි අහුලා ගැඹුරින් වලලා දැමිය යුතුය. පිරිමි මැස්සන්ගේ ගහනය අඩුකර ගැනිමට මීතයිල් ඉයුජිනෝල් අඩංගු උගුල් භාවිතා කල හැකිය.

පැල මැක්කා Selenothripsrubrocintus
රෝග ලක්ෂණ
තවාන්වල ඇති පැළ හෝ සිටුවා ඇති කුඩා පැළවලට මෙම සතුන්ගේ හානි සිදුවිය හැක. ශිශුවන් හා වැඩුණු සතුන් පත්‍රවල යටිපැත්තේ සිට යුෂ උරා බොයි. එනිසා පත්‍ර මත කහ පැහැ ලප මුලින් දැකිය හැකි අතර පසුව පත්‍ර සම්පූර්ණයෙන් වියලී ගොස් පැළ මැරී යයි.

මර්ධනය
හානිය දරුණු නම් ෆිප්‍රොනිල් හා ඉමිඩක්ලොප්‍රීඩ් වැනි සංස්ථානික කෘමිනාශකයක් භාවිතාකර මෙම සතුන් මර්ධනය කළ යුතුය.

කොළ කන කුරුමිණියන් Mylocerus SPP. / Phylophaga SPP.
මෙම කුරුමිණියන් විශේෂයෙන් රාත්‍රී කාලයේදී පේර ගස්වලට පැමිණ කොළ කා දමයි. මේ සතුන් බොහෝ විට දිවා කාලයේදී දක්නට නොමැත.

මර්ධනය
හානිය දරුණු කාලවලදී පෙන්තියෝන් වැනි ස්පර්ශක කෘමිනාශකයක් භාවිතා කළ හැක.

කොළකන දළඹුවන් HyposidratalacaWlk.
කොළකන දළඹුවන් පේර ගසේ දළු හා ලපටි කොළ හකුලා ඒතුල වෙසෙමින් එම පත්‍ර ආහාරයට ගනී. මේ නිසා ශාකයේ වර්ධනය අඩාල වේ.

මර්ධනය

මෙම දළඹුවන් සිටින අතු කඩා විනාශ කර දැමීමෙන් හානිය තරමක් වලකාගත හැක. හානිය ඉතා දරුණු නම් ඇටබ්‍රෝන් වැනි කෘමිනාශකයක් භාවිතා කළ හැක

නෙමටෝඩාවන් Meloidgyne SPP.
පියවි ඇසට නොපෙනෙන මුල් ආශ්‍රිතව වෙසෙන කුඩා වටපණු විශේෂයකි. ශාක වර්ධනය ඇනහිටීම, ජලය තිබියදීත් පැළ මැලවුනු ස්වභාවයක් ගැනීම, තැන්තැන්වල පැළ කාණ්ඩ ලෙස මැරීයාම හා ලපටි මුල්වල තැනින් තැන කුණුවී යාම වැනි ලක්ෂණවලින් ආසාදිත ශාක හඳුනාගත හැකිය. තවද පත්‍ර දාරයේ සිට ඇතුලට දම් පැහැති තිත් ඇතිවීමද ආසාදනය නිසා සිදු වේ.

මර්ධනය
ශාකයේ නෙමටෝඩා හානිය යැයි සැකකල හැකි ලක්ෂණ ඇතිවිට පාර්ශ්වික මුල් කිහිපයක් අහඹු ලෙස ගලවා බලා එහි මුල ඉදිමී ගැටිති වැනි ස්වාභාවයක් ඇත්නම් පමණක් නෙමටෝඩාවන් සඳහා පාලන ක්‍රම යෙදීම සුදුසු වේ. පාලනය සඳහා වර්ධක අවධියේ ඇති ගසකට කාබෝනියුරාන් ග්‍රෑම් 10ක් ද, ඵල දරන වැඩුණු ගසකට ග්‍රෑම් 20 - 30 ක්ද යෙදීම සුදුසුය.

අස්වැන්න නෙලීම
බීජ පැළ සිටුවා වසර 2 දී පමණද, බද්ධ පැළ සිටුවා වසර 1 1/2 දි පමණ ඵල හටගැනීම ආරම්භ වේ. මල් පිපීමෙන් පසු අස්වනු නෙලා ගැනීමට දින 120 - 150 පමණ කාලයක් ගතවේ.

ගෙඩිවල පැහැය තද කොළ සිට ලා කොළ - කහ පැහැයට හැරෙන අවස්ථාවේදී නෙලාගත යුතුය. අස්වනු නෙලනවිට ගෙඩිවලට හානි නොවිය යුතුය.

බද්ධ පැළ සිටුවා හොඳින් නඩත්තු කලහොත් වසර 6 - 8 කට පසුව එක් ගසකින් ගෙඩි කිලෝග්‍රෑම් 45 - 50 පමණ අස්වැන්නක් වසරක් තුලදි ලබාගත හැකිය.