කෙසෙල් වගාව (Banana)




උද්භිද විද්‍යාත්මක නම- මියුසා විශේෂ

හැදින්වීම

කෙසෙල් ගසේ සම්භවය වී ඇත්තේ මලයාසියාව ආශ්‍රිත අග්නිදිග ආසියාවේය. කෙසෙල් ජනප්‍රිය පලතුරක් මෙන්ම එළවළුවකි. දැනට ලෝකයේ වගා කරන වැදගත්ම බෝගයක් වන වී, තිරිගු සහ බඩඉරිගුවලට පසුව හතරවන වැදගත්ම බෝගය වශයෙන් සැලකෙන්නේ කෙසෙල්ය. එසේම ලෝකයේ වගා කරන පළතුරු අතරින් දෙවැනි වන්නේ දොඩම්වලට පමණි.

ශ්‍රී ලංකාවේ වගාකර ඇති මුළු භූමි වපසරියෙන් 54% ක්ම ඇත්තේ කෙසෙල්ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ.

පෝෂණ අගය

පෝෂක

ප්‍රමාණය %

පළතුරක් වශයෙන් ගන්නා වර්ග

පිසීමට ගන්නා වර්ග

ජලය

73 - 75

64 - 69

කාබෝහයිට්‍රේට්

23.20

30

ප්‍රෝටීන්

1.16

1.20

දළ තන්තු

0.76

0.45

මේදය

0.36

0.43

කෙසෙල් ප්‍රභේද
වියළි කලාපය හා අතරමැදි කලාපය

සීනි කෙසෙල් (ABB)



  • ප්‍රදේශය අනුව උස මීටර් 2 - 4 අතර වෙනස් වේ.
  • කඳ දීප්තිමත් කොළ පාටයි.
  • පත්‍ර වෘන්තයේ දාර මුළුමනින්ම ඇතුලට නැමී ඇත.
  • පත්‍ර තලය පළල්ය.
  • කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත තැබිලි පාටට හුරු රතු පාටය.
  • කොළපුවල නාරටි මතු වී ඇත.
  • කැන්වල ප්‍රමාණය පාලන තත්ත්ව මත වෙනස් වේ.

ඇම්බන් (AAA)


  • කඳ මීටර් 4 - 4.5 පමණ උස් වේ.
  • කොළ පාට කදේ දම් පාට පැල්ලම් ඇති වේ.
  • පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය.
  • කෙසෙල් මුහයේ කොළපු දම් පාටය.
  • ඇවරි කිට්ටුවෙන් ඇහිරී ඇත.
  • ගෙඩියක් සෙ.මී. 16 - 18 පමණ දිග වන අතර පරිධිය සෙ.මී. 14 - 16 පමණ වේ.

ආනමාළු (AAA)


  • මීටර් 3 - 5 පමණ උස් වන ප්‍රභේදයකි.
  • කඳ කොළ පැහැතිය.
  • පත්‍ර තලය පළල්ය. පත්‍ර නටුව පිටතට වක්‍ර වනසේ හොඳින් විවෘතව ඇත.
  • කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත දම් පාටට හුරු කොළ පාට වන අතර ඇතුලත පෘෂ්ඨය කහ පාටට හුරු කොල පාටය. මුල් අවස්ථාවේ කෙසෙල් මුහය කොළ පාටට හුරුය.
  • ගෙඩි සාමාන්‍යයෙන් සෙ.මී. 25 පමණ දික්වන අතර පරිධිය සෙ.මී. 1.5 -1.8 පමණ වේ.
  • කැනක බර කි.ග්‍රෑම් 12 - 18 පමණ වේ.


කෝලිකුට්ටු (
AAB)

  • ගසක් මීටර් 2 1/2 - 3 ක් පමණ උස්ව වැඩේ.
  • කඳ කොළ පාටය.
  • පත්‍ර නටුව කෙලවර දම් පාටට හුරු රෝස පාට දාරයක් සහිතය.
  • පත්‍ර කඳ කොළ පාටය, පළල්ය.
  • වැඩි වශයෙන් කඩුපත් මොරෙයියන් හටගනී.
  • කෙසෙල් මුහය දම් පාටට හුරුය.
  • කැන පහලට එල්ලා වැටෙන අතර කැනේ මැද නාරටිය දම් පාටට හුරුය.
  • මිහිරි සුවදක් ඇති අතර ගෙඩි තරමක් වක්වී ඇත.
  • ලාක්ෂණික වශයෙන් මෙම ප්‍රභේද ඉදෙන විට ගෙඩිවල පුල්ලි මතුවන අතර ඉදෙන විට ලෙල්ල දික්අතට පිපිරීම සිදුවේ.

ඇඹුල් කෙසෙල් (AAB)


  • මීටර් 3 - 3.5 පමණ උස්ව වැඩෙන දම් පාටට හුරු රතු පාට කඳක් ඇත.
  • බොහෝ විට දම් පාට වර්ණක ව්‍යාජ කදේ‍ දැකිය හැකිය.
  • පත්‍ර නටුවේ දාර දම් පාටය.
  • පත්‍ර මැද නාරටිය දම් පාටට හුරු කොළ පාටය.
  • ගෙඩි තරමක් වක්වී සිලින්ඩරාකාරව පවතී.
  • ඉදෙන විට දීප්තිමත් කහ පාටක් ගනී.
  • ගෙඩි ඇඹුල් රසයෙන් යුක්තය.
  • මනා පාලන තත්ත්ව යටතේ කිලෝ ග්‍රෑම් 25 - 30 දක්වා වූ කැන් ලබා ගත හැක.

රතඹලා (AAA)


  • ගසක් උසින් මීටර් 3 - 3.5 දක්වා වැඩේ.
  • රතු පාට පැල්ලම් දැකිය හැක.
  • පත්‍ර වෘන්තය යටි පැත්තට වක්‍රවී ඇති අතර එහි දාරය දම් පාට දාරයකින් සීමා වී ඇත.
  • පත්‍රයේ උඩු පෘෂ්ඨය කොළ පාට වන අතර යටි පැත්ත රතු පාටය.
  • කැන අර්ධව තිරස්ව වර්ධනය වේ.
  • පොත්ත තද පාට වන අතර මදය තැඹිලි පාටය.
  • කැනක බර සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 8 - 18 පමණ වේ.
  • කෙසෙල් ගුල්ලාගේ හානියට අධික ලෙස පාත්‍ර වේ.

කණ්ඩුල (AAAB)

  • චතුර්ගුණ ප්‍රභේදයකි
  • දෙමුහුම් වර්ගයකි.
  • මෙය පළතුරක් හා එළවළු වශයෙන් භාවිතා කළ හැකි ද්විකාර්ය ප්‍රභේදයකි.
  • කඳ කළු පාටට හුරු තද දම් පාටින් යුක්තය.
  • උස මීටර් 2 - 2.5 පමණ වේ.
  • කඳ ඉතා ශක්තිමත්ය.
  • පත්‍ර තද කොළ පාට වන අතර මුහයේ පැහැය තද දම් පාටය.
  • නියං ප්‍රතිරෝධීය.
  • කළු සිගටෝකා පත්‍ර ලප රෝගයට ප්‍රතිරෝධීය.
  • ශක්තිමත් කඳක් සහිත නිසා අහිතකර දේශගුණික හා පාංශු තත්ත්වයන්ට ඔරොත්තු දෙයි.

නදී (AAB)

  • ඇඹුල් කෙසෙල් වගා දර්ශයන් අතරින් උසස් ගුණාත්මයෙන් යුතු කෙසෙල් වගා දර්ශයකි.
  • පළතුරක් ලෙස පමණක් ගැනෙන ප්‍රභේදයකි.
  • ලා කොළ පාට කඳක් ඇති අතර පත්‍ර වල ස්වභාවය ඇඹුල් කෙසෙල් ආකාර වෙයි.
  • මනා පාලන තත්ත්ව යටතේ විශාල කැන් හටගනී.
පිසීමට ගන්නා කෙසෙල් ප්‍රභේද

පුලතිසි (AABB)


  • චතුර්ගුණ ප්‍රභේදයකි
  • දෙමුහුම් ප්‍රභේදයකි.
  • කඳ මීටර් 1 1/2 - 2 පමණ උසක් ඇත.
  • කඳ තද කොළ පාට, පත්‍ර පළල්ය.
  • කෙසෙල් මුහ විශාලය, මුහයේ කොලපු හැලීමක් සිදු නොවේ.
  • දිගු කලක් කැනෙහි මධ්‍ය නාරටියට ඇලී පවතී.
  • නියං ප්‍රතිරෝධී වන අතර කළු සිගටොා්කා රෝගයටද ප්‍රතිරෝධීය.
  • නිසරු පසේ වුවද හොදින් ප්‍රතිචාර දක්වයි.
  • වරකට එක් ඇවරියක් බැගින් ගසේ කැන තිබියදීම කපා ගෙන පරිභෝජනය කළ හැකිය.
  • සැකසීම සදහා ඉතාමත් සුදුසු ප්‍රභේදයකි.

ප්‍රසාද්


  • දේශීය අළු කෙසෙල් වර්ගයකි.
  • සාමාන්‍ය අළුකෙසෙල් ලක්ෂණ මේ වර්ගයටද පොදු වේ.
  • ගෙඩිවල කෙලවර ප්‍රමුඛ ඉදිමුමක් ඇත.
  • අළුකෙසෙල් වියළි කලාපයට පමණක් නිර්දේශ කර ඇති නමුත් ප්‍රසාද් වියළි හා තෙත් කලාප දෙකටම නිර්දේශ කර ඇත.
  • කැනක බර කිලෝ ග්‍රෑම් 15 - 16 පමණ වේ.

මොන්දන් (ABB)

  • පිසීම සඳහා පමණක් යොදා ගනී.
  • ව්‍යාජ කඳ කොල පාටය.
  • පත්‍ර නටුව ලා කොල පාටය. පත්‍ර තලයේ උඩු පෘෂ්ඨය තද කොළ පාටය.
  • කෙසෙල් මුහය ඉලිප්සාකාරය.
  • කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය.


මැටි කිතල (ABB)

  • කදේ රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත.
  • පත්‍ර තලය දම් පාටට හුරු කොළ පාටය.
  • පත්‍ර නටුවේ දම් පාට දාරයක් ඇත. එය පිටතට වක්වී නොමැත.


ඇටමුරු (ABB)

  • පිසීම සඳහා යොදා ගනී.
  • සමහර ගෙඩි වල බීජ කිහිපයක් ඇත.
  • කඳ කොළ පාට වන අතර ලා දම් පාට පැල්ලම් ඇත.
  • පත්‍ර තලයේ උඩු පැත්ත තද කොළ පාටය. යටි පැත්ත ලා දම් පාටය.


අළු කෙසෙල් (ABB)

  • ඉතාමත් ජනප්‍රිය එළවළුවක් වශයෙන් යොදා ගන්නා ප්‍රභේදයකි.
  • කඳ කොළ පැහැතිය. පත්‍ර තලය අදුරු කොළ පැහැතිය.
  • කෙසෙල් මුහයේ කොළපු දම්පාටය. පැහැදිලි කොළපු නාරටි බේරී ඇත.
  • නොමේරූ කැන් ඇන්ත්‍රැක්ස්නෝස් දිලීර රෝගයට පාත්‍රවේ.

තෙත් කලාපය

පූවාළු (ABB)




  • ව්‍යාජ කඳ මීටර් 03 පමණ උස්වේ.
  • පත්‍ර පාද වල දුඹුරු පාටට හුරු කළු පාට සළකුණු ඇත.
  • පත්‍ර නටුවේ දම්පාට දාරයක් ඇත.
  • කොළපු වල පැහැදිලි නාරටි ඇත.
  • කෙසෙල් කැන තරමක් කෝණයකට තිරස්ව පිහිටා ඇත.
  • කැනේ නටුව දම් පාටට හුරු කොළ පාටය.
  • ගෙඩියක් සෙ.මී. 12 - 15 පමණ දික්වේ. එහි පරිධිය සෙ.මී. 15 - 18 පමණ වේ.
  • ගෙඩිය හරස්කඩකට කැපූ විට ත්‍රිකෝණාකාරය.
  • සාමාන්‍යයෙන් කැනක් කිලෝ ග්‍රෑම් 15 - 16 පමණ යහපත් පාළන තත්ත්ව යටතේ ලබා ගත හැක.

බිං කෙසෙල් (
AAA)
  • සාමාන්‍ය ව්‍යවහාරයේදී නැව් කෙසෙල් වශයෙන්ද මෙම ප්‍රභේදය හැදින්වේ.
  • ඩ්වෝෆ් කැවෙන්ඩි‍ෂ් වර්ගය ලෙසද දැක්වෙන්නේ මෙම ප්‍රභේදයයි.
  • කදේ උස මීටර් 1.5 - 1.7 පමණ වන අතර කඳ කළු පාටට හුරු තද දුඹුරු පාටය.
  • පත්‍ර නටුව දාරයේ දම් පාට බෝඩරයක් ඇත.
  • පත්‍ර තලය තද කොළ පාටය.
  • කෙසෙල් මුහෙහි කොළපු කෙසෙල් කැනෙහි කඳට අවසානය දක්වාම ඇලී පවතී.
  • මෙය වඳ පීදීමේදී වෛරසයට අධික ලෙස පාත්‍ර වේ.
  • ඉතා රසවත් ප්‍රභේදයකි.


මෙම ප්‍රභේදවලට අමතරව වියළි කලාපයටද ඔරොත්තු දෙන පහත සදහන් ප්‍රභේද ද තෙත් කලාපයට නිර්දේශ කර ඇත.

තෙත් කලාපයට සුදුසු ප්‍රභේද

නදී

ඇඹුල් වර්ග

ඇම්බන්

ආනමාළු

රතඹලා

කණ්ඩුල

සීනි කෙසෙල්

පැරකුම්


තෙත් කලාපයට නිර්දේශිත එළවළු ප්‍රභේද

මැටි කිතල

ඇටමුරු

ප්‍රසාද්

මොන්දන්


දේශගුණික අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වූ සියළුම ප්‍රදේශවල සාර්ථකව කෙසෙල් වගාකල හැක. මි.මී. 1250 - 1900 දක්වා පැතිරුණු වර්ෂාපතනයක් පවතින සෙ.ග්‍රේ. අංශක 27 - 30 අතර උෂ්ණත්වයක් තිබීම වඩාත් සුදුසුය. උෂ්ණත්වය අඩුවීමේදී මොරෙයියන් ඇතිවීම, පත්‍ර වර්ධනය හා මල් ඇති වීම අඩු වේ. එමෙන්ම අධික සුළං ඇති ප්‍රදේශ වල වගාව ආරක්ෂා කිරීමට ප්‍රතිකර්ම කළ යුතුය.

පස

කෙසෙල් වගාව පුළුල් පාංශු පරාසයක් තුළ සිදුකළ හැකි අතර වැදගත් වන්නේ මනා ජල වහනයයි. පසේ මැටි ගතිය 40% වඩා අඩු වීමත් භූජල මට්ටම මීටර් 01 වඩා පහලින් පිහිටීමත් හිතකර වේ. පාංශු පී.එච් අගය 4 ත් 5 - 8 ත් දක්වා වගා කළ හැකි නමුත් ප්‍රශස්ථ මට්ටම වන්නේ පී.එච් 6 - 7.5 අතර මට්ටම වේ.

පැළ සකසා ගැනීම සහ භූමිය සැකසීම

පැළ සකසා ගැනීම

කෙසෙල් වගාවේ ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ අවශ්‍ය පමණ නීරෝගී, වැඩි අස්වනු දෙන සිටුවීමට සුදුසු පැළ සොයා ගැනීමේ අපහසුතාවයයි. මේ නිසා ගොවීහූ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තමන්ගේ වගාව සදහා රෝපණ ද්‍රව්‍ය ලබා ගනී. මේ නිසා කෙසෙල් වගාවට හානිකර රෝග සියල්ලන්ම පාහේ රට පුරා ඇති කෙසෙල් වගාවනට පැතිරී ඇත.

මේ නිසා කෙසෙල් පැල විශාල ප්‍රමාණ වලින් නිපදවීමේ ක්‍රම කිහිපයක් අත්හදා බලා සාර්ථක ප්‍රථිපල ලබාගෙන තිබේ.

ස්වභාවික ක්‍රම මගින් පදුරකින් ගලවා ගන්නා ලද පැළ

සාමාන්‍යයෙන් කෙසෙල් පදුරක මව් ශාකය සමග පැළ 2-3 ක් පමණ තබා ගැනීම නිර්දේශ කෙරේ. මීට අමතරව රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම සදහා පදුරක පැළ 2-3 පමණ වර්ධනය වීමට සැලැස්විය හැක. මෙයට වඩා වැඩි පැළ ප්‍රමාණයක් සිටුවීමට සුදුසු අවස්ථාව වන තෙක් මව් පදුරේ තබා ගැනීමෙන් මව් පදුරේ වර්ධනය බාල වී මව් ගසේ කැන් වල ප්‍රමාණය කුඩා වේ.

සිටුවීමට සුදුසු යැයි සලකනු ලබන්නේ අඩුම වශයෙන් සෙ.මී. 70-80 තරම් වර්ධනය වූ පැළයකි. මෙම ක්‍රමය මගින් පදුරකින් අවුරුද්දකදී ලබා ගත හැකි වන්නේ අඩු පැළ සංඛ්‍යාවකි.

කෙසෙල් පදුරක හටගන්නා මොරෙයියන් ප්‍රධාන වශයෙන් තුන් වර්ගයකි.

කඩුපත් මොරෙයියන්
මෙම මොරෙයියන්ගේ කෝමය (අලය) හොදින් වර්ධනය වී ඇති අතර කද පහල සිට ඉහලට ක්‍රමයෙන් සිහින් වේ. එනම් කේතු හැඩයක් ගනී. මෙවැනි පැළ වල ආරම්භයේදී හටගන්නා පත්‍ර සිහින් දිගැටි හැඩයක් ගන්නා බැවින් මෙම පැළ කඩුපත් මෙරෙයියන් ලෙස හැදින්වේ. මෙවැනි පැළ සිටුවීම සදහා යොදා ගත හැකි නම් වඩාත් සුදුසුය. අලය ප්‍රමාණයෙන් විශාල නිසා පැළයේ වර්ධන වේගය වැඩිය. විශාල කැනක් හටගනී. කෙසෙල් මව් ගසේ අලයේ වඩා ගැඹුරින් පිහිටා ඇති අංකුර වලින් මෙම මොරෙයියන් හටගනී. නමුත් වගාවක හටගන්නා මෙවැනි පැළ ප්‍රමාණය සීමිත වන අතර ප්‍රභේද අනුවද ලබාදෙන පැළ සංඛ්‍යාව වෙනස් වේ.

කන්‍යා මොරෙයියන්

මෙම මොරෙයියන්ගේ පත්‍ර පළල්ය. කඳෙහි හැඩය මඳ වශයෙන් කේතු ආකාරය. කෙසෙල් අලය මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් සහිතය. මේ පැළ වල වර්ධනය වේගවත් වන අතර විශාල කැන් හටගනී. මෙවැනි පැළද සිටුවීම සදහා සුදුසු වේ.


දියපත් මොරෙයියන්

කෙසෙල් මව් ගසෙහි අලයේ ඉහලින්ම (පස් මට්ටමේ ආසන්නයේ ) පිහිටි අංකුර වලින් හටගනී. මේ කඳ ඉතා දුර්වල වන අතර සිලින්ඩරාකාර හැඩයක් ගනී. කෝමය ඉතා කුඩා නිසා එහි තැන්පත් වී ඇත්තේ ඉතා සුළු ආහාර ප්‍රමාණයකි. පත්‍ර පර්ව අතර දුර ඉතා අඩු වන අතර බොහෝ විට පත්‍ර එකම ස්ථානයකින් හටගන්නා ස්වරූපයක් පෙන්නුම් කරයි. මේ පැළ වල වර්ධන වේගය ඉතා දුර්වල බැවින් පැළ සිටුවීමට නිර්දේශ නොකෙරේ.

ස්වභාවිකව ඇති වන අංකුර උත්තේජනය මගින් පැළ නිපදවීම

මේ අන්දමට පැළ නිපදවා ගැනීම සදහා අනුගමනය කළ හැකි විවිධ ක්‍රම මගින් ප්‍රධාන වශයෙන් ලබා ගත හැකි වන්නේ පලල් පත්‍ර සහිත මෙරෙයියන්ය. කඩුපත් මොරෙයියන් ඇති වන්නේ ඉතා සුළු සංඛ්‍යාවකි.

පළල් පත්‍ර මොරෙයියන් අතුරින් කොටසක් වේගවත් වර්ධනයක් සහිත කන්‍යා මොරෙයියන් වේ. එසේම දුර්වල වර්ධනයක් සහ කුඩා පත්‍ර හා අලයක් සහිත දියපත් මොරෙයියන් ද මෙම ක්‍රම මගින් හට ගනී. එම නිසා සිටුවීම සදහා පැල තෝරා ගැනීමේදී දුර්වල වර්ධනයක් ඇති දියපත් මොරෙයියන් භාවිතා නොකළ යුතුය.

අංකුර කැබලි වලින් පැළ නිෂ්පාදනය

  • මාස 7-8 වැනි කාලයක් තුලදී එක් අලයකින් පැළ 80-140 පමණ ලබා ගත හැකි වීමත් ක්ෂේත්‍රයේ සිටුවන අවස්ථාවේදී හොදින් මූල පද්ධතියක් සහිත පැළ නිපදවා ගත හැකි වීම මෙම ක්‍රමයේ විශේෂිත ලක්ෂණයකි.
  • මෙහිදී නීරෝගී පදුරකින් මාස 8-9 වයසැති (පීදීමට පෙර) ගසක අලය ගලවා ගන්න.
  • අලය ව්‍යාජ කඳින් වෙන් කර තියුණු පිහියකින් මුල් හා හානි කොටස් කපා අලය පිරිසිදු කර ගන්න. නමුත් මේරූ අංකුර වලට හානි නොවන පරිදි මේ කාර්ය කළ යුතුය.
  • සෑම අලයක්ම ග්‍රෑම් 750 ක් කිලෝ 1 ක් පමණ බරති කැබලි විය යුතුයි.
  • පසුව එය අමු ගොම උකු දියරයක් ලෙස සකසා එයට අළුද කවලම් කරගන්න. පසුව ලීටර් 4.5 ට (ගැළුමට) කාබෝෆියුරාන් ග්‍රෑම් 10 ක් සහ කැප්ටාන් ග්‍රෑම් 10ක් පමණ එක් කර කපාගත් අල කැබලි එම දියරයේ විනාඩි 10 පමණ ගිල්වා තබන්න.

තවාන් කිරීම

පළල සෙ.මී 90 හා අවශ්‍ය පමණ දිගක් සහිත වන සේ පාත්ති සකසා ගන්න. තවාන් මාධ්‍ය ලෙස ලී කුඩු ගංගා වැලි, කොමිපෝස්ටි 3:1:1 වන ‍ලෙස හෝ වැලි මතුපිට පස් , කොමිපොස්ටි 2:1:1 මිශ්‍රණය හා භාවිතා කරන්න. තවානේ එකිනෙකට ආසන්නව මෙම අල කැබලි සිටුවන්න.

අංකුර වර්ධනය ආරමිභ වීමට පටන් ගන්නා අවස්ථාවේදී එනමි දින 14 ක් 21 අතර දී අල කැබලි ගලවා ගන්න. එක් කැබැල්ලක අංකුරය හරි මැදින් බෙදෙන සේ එක් කැබැල්ලක් කැබලි 4 කට වෙන් කරගන්න.

එක් කැබැල්ලක් ග්‍රෑම් 75-100 පමණ වීම අවශ්‍ය වේ. අල කැබැල්ල කුඩා වන විට ලැබෙන පැළ ප්‍රමාණයද අඩු වේ.

පසුව පළමු තවාන් මිශ්‍රණයම භාවිතා කර පේලි දෙක අතර පරතරය සෙ.මී 20-25 හා අල කැබලි දෙක අතර සෙ.මි 15 ක පරතරයට තවාන් කරගන්න.

සති 2-3 ගත වන විට අංකුර මතු විම සිදුවේ. එක් අංකුර කැබැල්ලකින් පැළ 1-7 දක්වා ප්‍රමාණයක් ලබා ගත හැක.

සෙ.මී 15-20 පමණ උස් වු එනමි මාස 1- 1 1/2 වයසැති පැළ තෝරා ‍පොලිතින් බදුන් වල සිටුවන්න. එම පැළවල කෝමය ඉතා කුඩා බැවින් හා මුල් ස්වල්පයක් ඇති බැවින් එක්වරම ක්ෂේත්‍රයේ සිටුවිම අපහසුය. බදුන් කිරීම සදහා සෙ.මි 25 පළල සෙ.මි 35 උසැති ගේජ් 300 විනිවිද පෙනෙන පොලිතින් බදුන් සකසා ගන්න. බදුන් මිශ්‍රණය සදහා තවානට භාවිතා කල මිශ්‍රණයම හෝ මතුපිට පස් , කොමිපෝස්ටි, වැලි 1:1:1 මිශ්‍රණය භාවිතා කරන්න. මේ අනුව බදුන් කළ පැලයක් ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු පැළයක් මාස 4-5 දී ලබා ගත හැකිය. බඳුන් තුල පෝෂණය ප්‍රමාණවත් නොවන නිසා මාසකට වරක් කෙසෙල් පොහොර මිශ්‍රණයෙන් ග්‍රෑම් 5-10 බදුනකට යොදන්න.

පදුරු පාළනයේදී ඉවත්වන මොරෙයියන් භාවිතය


පදුරු පාලනයේදී ඉවත් කරන පැළ වලින් ප්‍රයෝජනයක් ගැනීමටත් එයින් අමතර පැළ ලබාගැනීමටත් මෙම ක්‍රමය උපයෝගී කර ගත හැක.

අඩියක් පමණ උස නීරෝගී මොරෙයියන් අලයද සමග මව් ශාකයෙන් වෙන්කර ගන්න. මේ වන විට කෝමයේ ආහාර සංචිතයක් ඇති බැවින් මව් ශාකයෙන් වෙන් කලද පැළ වලට තනිව වර්ධනය වීමේ හැකියාව තිබේ.

මෙවැනි පැළ ක්ෂේත්‍රයේ සකසා ගත් තවානක තවාන් කර ගන්න. සෙ.මී. 15-20 ක් උසට සකස් කළ වැලි තවානක හෝ වැලි කොම්පෝස්ට් හා මතුපිට පස් 2:1:2 අනුපාතයට සැකසූ තවාන් මාධ්‍යයේ පේලි 2 අතර පරතරය සෙ.මී. 60 ක් හා පැළ 2ක් අතර පරතරය සෙ.මී. 45 වන සේ පැල සිටුවන්න. තවාන් වෙනුවට ඉහත මිශ්‍රණයම බදුන් වල එනම් ගේජ් 300 විනිවිද පෙනෙන සෙ.මී. 25 පළල සෙ.මී. 35 උස බදන්සිටුවා ගත හැක. පැළ වල වර්ධනය වේගවත් කිරීමට 2% යූරියා ද්‍රවණයක් සති 2 වරක් යොදන්න. තවද කදෙහි ශක්තිමත් භාවය වැඩි කිරීමට මියුරියේට් ඔෆ් පොටෑෂ් ස්වල්පයක්ද යොදන්න.

මාස 31/2 - 4 දී සිටුවීමට සුදුසු පැළ ලබාගත හැකි වේ. මේ අන්දමට මොරෙයියන් ලබා ගැනීමේදී මව් ශාකයට අහිතකර බලපෑමක්ද ඇති නොවන පරිදි එක් වරම සියළුම පැළ නොගලවා කාල පරතරයක් සහිතව පැළ ගලවා ගන්න.

පුෂ්ප අංකුරය විනාශ කිරීම මගින් පැළ උත්තේජනය කිරීම

මෙහිදී ක්ෂේත්‍රයේ පවතින පැළයකින් පැළ 16-18 ක් පමණ ලබාගත හැකිය. මේ ක්‍රමයේදී අංකුර වර්ධනය අනුව විවිධ අවස්ථා වලදී ක්‍රමයෙන් පැල ලබා ගැනීමේ හැකියා‍ව ලැබේ.

මව් ශාකයේ අග්‍රස්ථ ප්‍රමුඛතාවය ඉවත් කිරීම, එනම් පුෂ්ප අංකුරය ආරම්භ වන අවස්ථාවේදීම විනාශ කිරීම මගින් පාර්ශ්වික අංකුරවල වර්ධනය වේගවත් කිරීම සිදු කරණු ලැබේ. මේ සදහා නිරෝගී මාස 7-9 ක් වයසැති කෙසෙල් ශාකයක් තෝරා ගෙන එහි පුෂ්ප අංකුරය විනාශ කරන්න. හොදින් නඩත්තු කර ශාකයක පුෂ්ප අංකුරය වර්ධනය වීම මාස 7-9 ක් අතර තුලදී සිදුවේ. සාමාන්‍යයෙන් ඇඹුල් ප්‍රභේදයේ 28 වන පත්‍රය පිටතට විවෘත වන විට පුෂ්ප අංකුරයේ වර්ධනය ආරම්භ වේ.

පුෂ්ප අංකුර හටගන්නේ කෝමය හා කෙසෙල් ව්‍යාජ කද සම්බන්ධ වන ස්ථානයේ ව්‍යාජ කද මැදය.

ඉහත රූප සටහනේ පෙනෙන පරිදි උපකරණ ආධාරයෙන් කද සිදුරුකර සර්පිලව කැරකවීමෙන් පුෂ්ප මූලාකෘති‍ය විනාශ කර දමන්න. මේ අවස්ථාවේ පත්‍ර වර්ධනය වූ පත්‍ර සංඛ්‍යාවක් ඇති අතර ව්‍යාජ කද තුල විවෘත වීමට නියමිත පත්‍ර 10-12 පවතී. මේ නිසා ප්‍රභාසංස්ලේෂණය හා ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අඩාල නොවන බැවින් සක්‍රීයවන මොරෙයියන්ගේ වර්ධනය වේගවත් වේ.

මෙවැනි පැල ලබා ගැනීමේ ක්‍රියාවලියේදී මව් ශාක සාමාන්‍ය වගාවකදී මෙන් නොව අඩු පරතරයකින් එනම් මීටර් 2x2 පරතරයට ක්ෂේත්‍රයේ සිටුවන්න. මාස 7-8 කදී පුෂ්ප අංකුරය විනාශකර පාර්ශ්වික පැළ ලබා ගන්නා අතර මව් ශාකයේ වර්ධනය දුර්වල වන විට එක් පැළයක් නව මව් ශාකය ලෙස වර්ධනය වීමට සලස්වනු ලැබේ. එයද පුෂ්ප මූලකෘති අවධියට පත් වූ පසු නැවත ඉහත ක්‍රමයම අනුගමනය කරන්න. මෙලෙස අවු.2-3 පොහොර හා ජල සම්පාදනය ක්‍රමාණුකූලව ලබා දෙන්නේනම් පැළ වර්ධනය ශීඝ්‍ර‍යෙන් සිදුවේ.

කෙසෙල් ගසේ අග්‍රස්ථ අංකුරය විනාශ කිරීම

මෙමගින් වඩා පහසුවෙන් වැඩි පැළ ගණනක් කෙටි කාලයකදී ලබා ගත හැකි ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැක. මේ මගින් මාස 2-21/2 පමණ පැළ ලබා ගත හැකි වේ. ඒකාකාරී වර්ධනයක් සහිත පැළ ලබා ගත හැකි මෙම ක්‍රමයේ සාර්ථකත්වය 100% වේ.

මේ සදහා වයස මාස 7-8 වන හොදින් පත්‍ර විහිදුණු නිරෝගී කෙසෙල් ගසක් තෝරා ගන්න. මෙම ගස තනි ගසක් වශයෙන් හා පැරණි පදුරකට සම්බන්ධ වී ඇති මොරෙයියකු වශයෙන් හෝ තිබෙනවා විය හැක. මේ ගස කද පොළව මට්ටමට සෙ.මී. 05 පමණ ඉහලින් කපා වෙන් කරන්න.

මෙසේ වෙන්කර ගත් පසුව උල්කරන ලද කෝටුකැබැල්ලකින් (කූඤ්ඤයක්) ගෙන එය එය කැපුම් මුහුණත මැදට තබා තදකොට අලය තුලට ඇතුල් කරන්න. ඉන්පසුව එය ඉවත් නොකර එසේම තිබීමට ඉඩහරින්න. මෙම ගසට ජල සම්පාදනය කළ විට වටේට මොරෙයියන් මතුවීමට පටන්ගනී. ඒවා වයස මාස 21/2-3 අතරදී ගලවා වෙන්කර සිටුවීමේ හැකිවේ.

මෙරෙයියන් මතුවීම ආරම්භ වූ පසුව රසායනික පොහොර ස්වල්පයක් යෙදීමෙන් වඩාත් ශක්තිමත් මෙරෙයියන් හටගනී.

වියළි හා අතර මැද කලාප සදහා (එක් පැළයකට)

තෙත් කලාපය සදහා (එක් පැළයකට)

යූරියා ග්‍රෑම් 120

යූරියා ග්‍රෑම් 110

සුපර් පොස්පේට් ග්‍රෑම් 80

සුපර් පොස්පේට් ග්‍රෑම් 150

මියුරියේට් ඔෆ් පටෑෂ් ග්‍රෑම් 250

මියුරියේට් ඔෆ් පටෑෂ් ග්‍රෑම් 190


මේ ක්‍රමයේදී සති 2-3 වන විට පොළව මට්ටමට පහලින් පිහිටි කෙසෙල් පැළයේ අලය කොටසින් මොරෙයියන් මතු වීමට පටන් ගනී. මෙම පැළ වල වයස මාස 2 1/2-3 වන විට ගලවා සිටුවීමට යොදා ගත හැක. දිගින් දිගටම පැළ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ නම් එක් පැළයක් එම ස්ථානයේ ඉතිරි කර අනෙක් පැළ ගලවා ඉවත් කරන්න.

සම්ප්‍රදායික ක්‍රමයට වගා කිරීම

මෙහිදී ගස් අතර පරතරය මීටර් 3x3 හෝ මීටර් 3.5x3.5 වන පරිදි වලවල් සලකුණු කිරීම පළමුවෙන් සිදු කර ගන්න. මේ පරතරය ප්‍රභේද අනුව වෙනස් වීමක් සුළු වශයෙන් සිදුවේ. ලකුණු කරගත් ස්ථාන වල 90x90x90 ප්‍රමාණයට වලවල් කපා ඒවා මතුපිට පස් සහ කොම්පෝස්ට් හෝ වෙනත් කාබනික පොහොර සමග මිශ්‍රකර වල මුදුන් වන සේ පුරවා දින කිහිපයක් තබා සිටුවීමට යොදා ගන්න.

එක් පැලයක් සිටුවා මාස 04 වනවිට එක් මොරෙයියකුට පමණක් වර්ධනය වීමට ඉඩ හැරිය යුතුය. නමුත් මව් ගස වැඩීමේ දුර්වල නම් තව මාස 02 පමණ මොරෙයියකු ඇති වීම වැළැක්විය යුතුය. වගාවේ සෑම මාස 04 වරක් එක් මොරෙයියකු පවත්වා ගත් විට නිතරම පදුරක පීදුණු කැන කැපීමට සූදානම් ගසක්, පීදුණු ගසක් සහ වර්ධන අවධියේ ගසක් වශයෙන් ගස් 03 පදුරක පවත්වාගත හැක.

මේ ක්‍රමයට හෙක්ටයාරයකට පැළ 1100 අවශ්‍ය වේ.

පදුරු පාලනය
වාර්ෂික ක්‍රමයට කෙසෙල් වගා කිරීම
කෙසෙල් වගා කිරීම වාර්ෂික ද්වී වාර්ෂික හෝ බහු වාර්ෂික ක්‍රමයට කෙසෙල් වගාව සිදු කරයි. සාම්ප්‍රදායික වශයෙන් ලංකාවේ බහු වාර්ෂික ක්‍රමයට කෙසෙල් වගාව සිදුකරනු ලැබේ. නමුත් මෙහිදී රෝග හා පළිබෝධ හානි වැඩි බැවින් ඵලදායිතාවය අඩුවේ. එමෙන්ම නිෂ්පාදන වියදම අධික වීමද සිදුවේ.

මේ නිසා බහු වාර්ෂික වගාවකට වඩා වාර්ෂික හෝ ද්වීවාර්ෂික ක්‍රමයට මාරුවීම වඩාත් ඵලදායී වේ.

මේ ක්‍රමයට වර්ෂයක් අවසානයේදී කෙසෙල් වගාව අවසන් කරන අතර වරකට සම්ප්‍රදායික ක්‍රමයට වඩා තුන් ගුණයක් කෙසෙල් කැන් සංඛ්‍යාවක් ලබාගත හැකි වන අතර වියදමද 50% පමණ අඩුවේ. මෙහිදී හෙක්ටයාරයකට පැළ 3300 පමණ අවශ්‍ය වේ. එලෙසම වර්ෂයක් පාසා එකම ක්ෂේත්‍රයේ වුවද කෙසෙල් ප්‍රභේද මාරු කරමින් සිටුවන බැවින් පළිබෝධ හා රෝග වැළදීමද අඩු වේ. තවද විශාල ඉඩ ප්‍රමාණයක් වෙන් කර වගා කරනවා වෙනුවට එම වපසරියෙන් 1/3 මේ ක්‍රමයට ප්‍රමාණවත්ය. මෙයද ක්‍රම 02ට සිදු කළ හැක.

අඩු පරතරයට සිටුවීම

පේලි අතර මීටර් 03 පේලිය තුල මීටර් 01 වන සේ වලවල් සලකුණු කරන්න. වලක ප්‍රමාණය සෙ.මී. 45x45x45 වනසේ කුඩාවට කපනු ලැබේ.

පොකුරු ක්‍රමයට වගා කිරීම
පේලි හා පැළ අතර පරතරය සාම්ප්‍රදායික ක්‍රමයේ ආකාරයටම මීටර් 3x3 පරතරයට තබා සලකුණු කර ඒ ස්ථානය වටා ත්‍රිකෝණයක මුලු තුන පිහිටන ආකාරයට සෙ.මී. 45x45x45 ප්‍රමාණයේ කුඩා වලවල් 3ක් කපනු ලැබේ. මේ වලවල් අතර පරතරය සෙ.මී. 30-40 පමණ වීම ප්‍රමාණවත්ය.

කෙසෙල් වගාව අරමුණු කිහිපයක් ඇතිව වගාකළ හැකිය.

  1. කැන් සඳහා වගා කිරීම
  2. පත්‍ර සඳහා වගා කිරීම
  3. කැන් සහ පත්‍ර සඳහා වගා කිරීම


කැන් සඳහා වගා කිරීම

මෙහිදී කැන් අස්වැන්න අරමුණු කරමින් කෙසෙල් වගාව පවත්වා ගැනේ. කැන් ලබාගෙන අවසන්වූ පසුව ඉතිරිවන පත්‍ර හා අනෙකුත් කොටස්වලින් අවශ්‍යනම් පමණක් ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කළ හැකි වේ.

පත්‍ර සඳහා වගා කිරීම

කැන් සඳහා වගාකරන ගස් සංඛයාව මෙන් දෙගුණයක් ගස් සිටුවීම සිදු කෙරේ. සාමාන්‍යයෙන් වර්සික වගා ක්‍රම යටතේදී කැන් සඳහා වගාව කරන විට ‍විට හෙක්ටයාරයකට ගස් 3000 ද පත්‍ර සඳහා වගාව කරනවිට හෙක්ටයාරයකට ගස් 6000 ක්ද (2 x 1 x 1 මීටර්) දෙපේලි ක්‍රමයක් යටතේ වගා කෙරේ. මෙහිදි පත්‍ර අරමුණු කරගනිමින්ම වගාකළ වුවද කැනක් ඇතිවීම වැලැක්විය නොහැකි නිසා කැනක්ද ඇතිවේ. මෙහිදී කැනෙන් අමතර ලාභ ලැබෙන අතර ප්‍රධාන ආදායම් මාර්ගය වනුයේ පත්‍ර වේ. කැන් සඳහා වගාකිරීමට නුසුදුසු ඉඩම්වල පත්‍ර සඳහා කෙසෙල් වගාව සාර්ථකව සිදුකළ හැකිවේ. මෙම වගාවකින් ලබන ආදායම කැන් සඳහා කරනු ලබන වගාවකට වඩා ලාභදායී වේ.

කැන් සහ පත්‍ර සඳහා වගා කිරීම

මෙහිදී වාර්ෂිකව කෙසෙල් වගා ක්‍රමයට අනුව (මීටර් 3 x 1) වගා කෙරෙන අතර සිටුවා මාස 4 පටන් කැන් පීදීම දක්වා එක් පත්‍රයක් හැර එක් පත්‍රයක් වනසේ පත්‍ර කැපීමක් සිදු කරයි. මෙයින් කැන් අස්වැන්න 28% බැඟින් අඩුවුවද ගෙඩිවල ගුණාත්මය අඩු නොවේ. කැන් බරෙහි අඩුවීම පත්‍ර කැපීම තුලින් කරනු ලබන නිෂ්පාදන වලින් ප්‍රතිපූර්ණය වේ.

වල් මර්දනය

කෙසෙල් වගාවක් නිතර පිරිසිදු කිරීමට අවශය වන්නේ මුල් මාස කිහිපය තුළදී පමණි. මුල් කාලයේදී වල් මර්දනය සඳහා ගසේ පාමුල සිට සෙ.මී. 60 පමණ වටයක් අතින් හෝ මුල් නොකැපෙනසේ උදළු ගෑමක් හෝ සිදු කළ හැක.

පොහොර යෙදීම
වියළි හා අතරමැදි කලාපය
සාම්ප්‍රදායික වගාව
වර්ෂා ජලයෙන්

යොදන ආකාරය

යොදන කාලය

වර්ගය

ප්‍රමාණය

කාබනික පොහොර යෙදීම

සිටුවීමට සති 2 පෙර

කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්

කිලෝ ග්‍රෑම් 10 වලකට

රසායනික පොහොර

-

වර්ගය සහ ප්‍රමාණය
පැළයක් සදහා ග්‍රෑම්

පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම්

-

යුරියා

TSP

MOP

N

P 2O 5

K 2 O

සිටුවීමට පෙර

60

40

125

28

18

75

සිටුවා මාස 2 වරක්

20

80

250

55

37

150

සෑම මාස 6 කට වරක්

180

120

375

83

55

225

කාබනික පොහොර සෑම වර්ෂයකම යෙදිය යුතුයි.


තෙත් කලාපය
සාම්ප්‍රදායික ක්‍රමයට

යොදන ආකාරය

යොදන කාලය

වර්ගය

ප්‍රමාණය

කාබනික පොහොර යෙදීම

සිටුවීමට සති 2 පෙර

කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්

කිලෝ ග්‍රෑම් 10 වලකට

අළුහුණු

සිටුවීමට සති 2 පෙර

ඩොලමයිට්

කිලෝ ග්‍රෑම් 500 වලකට

රසායනික පොහොර

-

වර්ගය සහ ප්‍රමාණය
පැළයක් සදහා ග්‍රෑම්

පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම්

-

යුරියා

TSP

MOP

Kies

N

P 2O 5

K 2 O

MgO

සිටුවීමට පෙර

55

50

95

-

25

23

57

-

සිටුවා මාස 2 වරක්

110

100

190

100

50

46

114

24

සෑම මාස 4 කට වරක්

110

100

190

100

50

46

114

24

සියළුම කෘෂි දේශගුණික කලාපය සඳහා
වාර්ෂික ක්‍රමයට

යොදන ආකාරය

යොදන කාලය

වර්ගය

ප්‍රමාණය

කාබනික පොහොර යෙදීම

සිටුවීමට සති 2 පෙර

කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්

කිලෝ ග්‍රෑම් 10 වලකට

අළුහුණු

සිටුවීමට සති 2 පෙර

ඩොලමයිට්

කිලෝ ග්‍රෑම් 500 වලකට

රසායනික පොහොර

-

වර්ගය සහ ප්‍රමාණය
පැළයක් සදහා ග්‍රෑම්

පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම්

-

යුරියා

TSP

MOP

Kies

N

P 2O 5

K 2 O

MgO

සිටුවීමට පෙර

30

80

150

-

14

37

90

-

සිටුවා මාස 2 වරක්

60

40

250

100

28

19

150

24

සෑම මාස 4 කට වරක්

150

-

250

100

68

-

150

24

සෑම මාස 8-9 කට වරක්

150

-

250

100

68

-

150

24

390

120

900

300

178

56

540

72

කාබනික පො‍හොර ලෙස කුකුල් පො‍හොර යොදන විට හොදින් දිරූ ඒවා විය යුතු අතර වෙනත් කාබනික පොහොර මෙන් අඩක් පමණක් යෙදිය යුතුය.

ජල සම්පාදනය

වියළි හා අන්තර් කලාපවල වගාකරන විට තෙත් කලාපයේදී මෙන් නිතර වර්ෂාව නොලැබෙන නිසා ජල සම්පාදනය වැදගත් වේ. සාමාන්‍යයෙන් දින 07 - 10 වරක් ජල සම්පාදනය කිරීම ප්‍රමාණවත්ය. ජලය වඩාත් හිඟ වන විට වර්ධනය බාල වන අතර වැඩිපුර ජලය සම්පාදනය කළ විට දිලීර ආසාදනය වැඩි වශයෙන් ඇති වීමට ඉඩ ඇත.

කෙසෙල් වගාව සඳහා ජල සම්පාදන ක්‍රම තෝරා ගැනීමේදී ස්ප්‍රින්කලර් (විසිරුම්) ක්‍රමය නුසුදුසුය. එයට හේතුව එමඟින් විසිරෙන ජල බිංදු සිගටෝකා වැනි පත්‍රලප රෝග කාරක බීජාණු ව්‍යාප්ති වන නිසාය. මේ නිසා ක්ෂුද්‍ර ජල සම්පාදනය මඟින් කදේ පහළ කොටසට ජලය විසිරෙන පරිදි සකසා ගත යුතුය.

කැන්වල ගුණාත්මය වැඩි කිරීම
කැන් නඩත්තු කිරීම

කැන් පීදීම ආරම්භ වූ පසුව අවසාන ඇවරිය මතුවී කෙසෙල් මුව කොටස දික් වීමට පෙර පටන් ගන්නා අවස්ථාවේ දී අවසාන ඇවරියේ සිට අඟල් හතරක් පමණ ඉතිරි කර කෙසෙල් මුහය කපා ඉවත්කළ යුතුය. මේ අනුව කෙසෙල් කැන විශාල වන අතර හානිකර සතුන්ට වාසස්ථානයක් අහිමි වීමද සිදුවේ.

ආවරණ යෙදීම

කෙසෙල් මුහය කැපූ විගස එය ආවරණය කළ යුතුය. එවිට කැන පෘෂ්ටිමත්වී එහි බර 40% පමණ වැඩි වන අතර රෝග හා පළිබෝධ හානි අවම වීම නිසා බාහිරින් මනා පෙණුමක් ඇති තිත්, කැලැල් රහිත ඉදෙන විට ඒකාකාරී කහ පාටක් ගන්නා කැන් ලබාගත හැක. මේ සඳහා කඩදාසි වලින් සාදාගත් කූඩා, පොල් කොළ ආවරණ, පිදුරු ආවරණ හෝ කෙසෙල් පත්‍ර නටුවලින් සාදාගත් කූඩා යෙදීමට පුළුවන.

ආධාරක තැබීම

කැන් පිදීම සිදුවන විට එහි බර වැඩි වන බැවින් මද සුළඟින් පවා ගස් බිදී යාමට ඉඩ ඇත. එම නිසා ආධාරක කණු සවි කිරීමෙන් ගසට කැන දරාසිටීමට සහයෝගයක් පිටතින් ලබා දෙයි.

අග ඇවරි ඉවත් කිරීම

කෙසෙල් කැනක අඟ ඇවරි 2 එනම් මල් ඇවරි දෙක ඉවත් කළ විට කැනෙහි ඉතිරි ඇවරි වල ගෙඩි පෘෂ්ටිමත් වෙයි. නමුත් සාමාන්‍ය වෙළඳපොලට සපයන විට නම් එය ඉවත් කිරීම ලාභදායි නොවනු ඇත.

රෝග හා පළිබෝධ හානි
කෙසෙල් ගුල්ලා
කඳගුල්ලා / අලගුල්ලා

මේ හානිය ආකාර දෙකකින් දැකගත හැක. එනම් කඳගුල්ලා (එඩිපෝරස් ලෙන්ජිකොලිස්) සහ මුල්ගුල්ලා නොහොත් අලගුල්ලා (කොස්මොපොලිටස් සෝඩිඩස්) ලෙස හැදින්වේ.


කඳගුල්ලා කදේත්, අලගුල්ලා අලයේත් දමන බිත්තර වලින් පිටවන කීටයන් ඇතුලත කොටස් කා දමයි. ජීවන චක්‍රය දින 25 ක් වන අතර මුළු ජීවිත කාලයම කඳ තුල හෝ අලය තුල ජීවත් වේ. මේ නිසා කදේ සහ අලයේ සනාල පටක අවහිරවීමක් සිදුවී පත්‍ර කහපාට වී යයි. ගොබය හිරවීම, වර්ධනය ඇනහිටීම, කැන් වියලීමද සිදුවිය හැකිය. මොවුන්ගේ හානිය ඇති විට පත්‍ර කහ පාටවී වියළී යයි. කදේ සිදුරු ඇති වී ඒවායින් මැලියම් වෑස්සීම සිදුවේ. තවද අඩු වේගයෙන් හමන සුළඟකට වුවද කඳන් බිදී යාම සිදුවේ.

මර්දනය

පැළ සිටුවීමේදී හානියෙන් තොර වූ නීරෝගී පැළ ලබාගැනීම සඳහා කෙසෙල් ගුල්ලාගේ හානියෙන් තොර නීරෝගී පැල ලබාගැනීම සඳහා යොදාගන්නා ඉතා කාර්යක්ෂම ක්‍රම 2 ක් වේ.

1. ඇල්දිය ප්‍රතිකාරය

කෙසෙල් පැළවල අලය කොටස පමණක් පිරිසිදු ඇල්දියෙහි ගිල්වා දින 2 ක් පමණ ඒ ආකාරයටම තිබීමට හරින්න. එවිට මුල් වලින් ජලය උරාගෙන අලය තුල සිටින කීටයින්, බිත්තර හා වැඩුණු සතුන් ඇතුළු සියලූම කොටස් විනාශ වී යයි. ඒවා දින 2 න් පසුව ඉවතට ගෙන ක්ෂේත්‍රයේ සිටුවිය හැකිය.

2. උණුදිය ප්‍රතිකාරය

කෙසෙල් පැලයක අලය කොටස පමණක් නටන ජලයේ තත්පර 30 - 40 ගිල්වා ගන්න. එවිට අලයේ සිටින සියලූම සතුන් විනාශ වී යන අතර වෙනත් දිලීර, බැක්ටීරියා වැනි බීජාණුද (පැනමා රෝගයේ පැළ) විනාශ වී යයි.

අස්වැන්න නෙළු පසුව එම ගස මව් පඳුරෙන් ගලවා ඉවත් කර එම සිදුරට අළුහුණු, අළු හා කාබෝෆියුරාන් ස්වල්පයකින් වසාදමා ඉතිරි ගස් අළුත් පඳුරක් ලෙස වැඩීමට ඉඩ හරින්න. එය ප්‍රායෝගිකව අපහසු නම් එම ගස පොළව මට්ටමින් කපා කැපුම් මුහුණත පස් වලින් වසා එහි සුවඳ විදීමට වැළැක්විය හැක. කැපූ කඳ ද කුඩා කැබලි වලට කපා ඉක්මනින් වියළීමට ක්ෂේත්‍රයේ විසුරුවා හරින්න.

කෙසෙල් කඳත් අඟල් 3 1/2- 4 පමණ ඝනකමට පෙති කපා මේ පෙති එකක් මතට කාබෝෆියුරාන් ග්‍රෑම් 5 - 6 පමණ විසුරුවා ගල්කැට කීපයක් තබා ඒ මත වෙනත් කෙසෙල් පෙත්තක් තබා වසන්න. මෙවැනි උගුල් 25 - 30 පමණ අක්කරයකට අවශ්‍ය වේ.

කිසිදු අස්වැන්නක් කෙසෙල් කැන් පීදීම සිදුවී ඇති විට කාබෝෆියුරාන් පඳුරු වලට හෝ පසට එක් නොකල යුතුය. පීදුණු පසුව යෙදූ විට ගෙඩිවල විෂ රැදී පවතී.

කෙසෙල් පැළ මැක්කා

සත්ව විද්‍යාත්මක වශයෙන් සර්ට්‍රොත්‍රිෆ්ස් සිග්නිපෙනිස් සහ න්‍රිප්ස් හවයියෙන්සිස් නම් වලින් හඳුන්වන පැළ මැක්කන් හානි කරයි. මොවුන් කෙසෙල් මුහයේ වාසස්ථාන ලෙස ජීවත් වීමට කැමැත්තක් දක්වයි. පැළ මැක්කා ගෙඩිවල පොත්ත සිඳුරු කර යුෂඋරා බීම නිසා කළු පැහැ තිත් ඇති වේ. මෙයින් කෙසෙල් ගෙඩිවල බාහිර පෙනුමට අහිතකර බලපෑමක් ඇති වේ.

වටපණු හානිය

වටපණුවා ඉතා කුඩා පියවි ඇසට නොපෙනෙන තරම්ය. මොවුන් පස් හා රෝපණ ද්‍රව්‍ය වලින් ඉක්මනින් ව්‍යාප්ත වේ. අප රටේ කෙසෙල් වගාව ආශ්‍රිතව බෙහෙවින් හානි කර වටපණුවන් විශේෂ හතරක් දැනට හඳුනාගෙන ඇත.

  1. රුඩෆොලස් සිම්ලස්
  2. හෙලිකොටයිලෙන්කස් මල්ටිසිනික්ටස්
  3. මොලොයිඩගයිං විශේෂය
  4. රොටයිලෙන්කියුලස් රෙනිෆෝම්ස්

මින් පළමු වටපණු දෙවර්ගය ඉදිකටු හැඩතිය. මොවුන්ගේ සම්පූර්ණ ජීවන චක්‍රය කෙසෙල් කඳ හා අලය තුල ගතකරයි. එහි පටක වලින් ආහාර ලබා ගනී. පටක ආහාරයට ගන්නා නිසා කුහර ඇතිවී ආහාර හා ජලය ලබා ගැනීමට දුෂ්කර වේ.

අනිත් ආකාර දෙකේ නොවැඩුණු වටපණුවන් හා පිරිමි සතුන් පමණක් ඉදිකටු හැඩයක් ගනු ලබන අතර ගැහැණු සතුන් පෙයාර්ස් ගෙඩි හැඩතිය. ගැහැණු සතුන්ගේ බිත්තර වලින් පසට එකතු වන ලාබාල සතුන් පස තුලින් ගොස් වෙනත් ශාකවල මුල්වලට ඇතුල් වේ. මොවුන් ශ්‍රාවය කරන විෂ ද්‍රව්‍ය නිසා මුල්වල වැඩීම ඇණහිටීමත්, අධික වර්ධනය නිසා මුල්වල ගැටිති ඇති වීම සිදු වේ. එවිට ජලය හා පෝෂණය උරා ගැනීම අපහසු වේ.

  • නීරෝගී පැළ පමණක් සිටුවීම
  • මොරෙයියන් සිටුවීමට පෙර මුල් හා අලය හොදින් ශුද්ධ කිරීම.
  • ගුල්ලා සඳහා කරනු ලබන උණුදිය ප්‍රතිකාරයෙන් වටපණුවන්ද විනාශ වේ.


පළතුරු මැස්සාගේ හානිය

පළතුරු මැස්සා ආකාර කිහිපයකි. එනම්

  1. බැක්ට්‍රොසෙරා කැන්ඩියෙන්සිස්
  2. බැක්ට්‍රොසෙරා ඩෝසාලිස්

මෙම ආසාධනය බොහෝ විට ඇති වනුයේ ක්ෂේත්‍රයේදී කැන් ඉදීයාම සහ ඉදුණු කැන් ආරක්ෂිතව අලෙවිසැල් වල එල්ලා තිබීම නිසාය. පළතුරු මැස්සාගේ ගැහැණු සතා ඉදෙන ගෙඩිවල සුවඳට ආකර්ෂණය වී එම ගෙඩිවල පොත්ත සිදුරු කර බිත්තර දමයි. එයින් ඇති වන කීටයින් ගෙඩිත් සමඟ බිමට වැටීම නිසා පසේ කෝෂ ගතවී වැඩුණු සතා වශයෙන් එළියට එයි. ජීවන චක්‍රය ඉතා අඩු දින ගණනක් නිසා බෝවීම සීඝ්‍රයෙන් සිදුවේ.

මර්දනය

  • නිසි වේලාවට අස්වනු නෙලා ගැනීම
  • කැන් ආවරණය කිරීමෙන් පළතුරු මැස්සාට බිත්තර දැමීමට පැමිණිමට නොහැකි වීම.
  • අලෙවිසැල් වල මීතයිල් ඉයුජිනොල් අඩංගු ෆෙරොමොන් උගුලක් තැබීම මඟින් පිරිමි සතුන් එයට ඇදී ඒම නිසා ව්‍යාප්තිය අඩු වේ.
  • කැන් එල්ලා තබන විට විනිවිද පෙනෙන ආවරණයකින් වසා තැබීම.


කූඩිත්තා

ඉතා කුඩා කෘමීයකි. කෙසෙල් පැළවල සහ ගස්වල ළපටි පත්‍ර ආශ්‍රි‍තව දැකගත හැක. මේ සතුන් සමූහ වශයෙන් පත්‍රමුල පීළි අතර ජීවත් වේ. පත්‍රවලින් යුෂ උරාබීම නිසා ගස්වල වර්ධනය බාල විය හැක. මෙම සතුන් ඉතාමත් වැදගත් වන්නේ වෛරස් රෝග පතුරුවන වාහකයින් ලෙස ක්‍රියා කිරීම නිසාය. කෙසෙල් වදපීදීමේ රෝගය මෙම කෘමීන් මඟින් පැතිරීම සිදුවේ. මේ සඳහා ඉම්ඩක්ලෝප්‍රිඩ් වැනි සංස්ථානික රසායනික ද්‍රව්‍යයක් යොදා ගත හැක.

සුදු මැස්සා

සුදු පැහැති කුඩා කෘමියකි. පත්‍ර යටි පැත්තේ යුෂ උරාබොමින් සමූහ වශයෙන් ජීවත් වේ. වෛරස් රෝග වාහකයින් ලෙස ක්‍රියා කරයි. පාලනයට සංස්ථානික කෘමිනාශකයක් භාවිතා කළ යුතුය.

රේන්ද මකුණා

මොවුන්ගේ පියාපත් රේන්ද ආකාරයට සැකසී ඇත. මොවුන්ද පත්‍රවල යටිපස ජීවත් වෙමින් යුෂ උරාබීම සිදු කරයි.

පිටිමකුණා හා කොරපොතු කෘමීන්

මේ සතුන් කෙසෙල් පත්‍රවල නටුව කඳට සවිවන ස්ථානවල හා කදේ පහළ පීළි අතර ජීවත් වේ. මෙම කෘමීන්ද ශාකයේ යුෂ උරාබීම සිදු කරයි. පිටිමකුණා වෛරස් රෝග වාහකයකු ලෙස වාර්තා වී ඇත.


දිලීර රෝග

පැනමා රෝගය
කාරකය - ෆියුසේරියම් ඔක්සිස්පෝරම් කියුබෙන්සිස්

කෙසෙල් වගාවට සම්බන්ධව ඇතිවන දරුණුම දිලීර රෝගයයි. ලංකාවේ වගා කරන ඇඹුල් ප්‍රභේද හැර අනෙකුත් සියළුම වර්ග පැනමා රෝගයට පාත්‍ර වී ඇත. රෝග කාරක මුලින්ම මුල් තුලින් ආසාධනය වීම නිසා මුල්ම රෝග ලක්ෂණ වන්නේ මුල්වල ඇතුලත කොටස් දුර්වර්ණය වීමයි. පසුව කෝමය තුලින් කඳට ඇතුල් වීම පටන්ගත් විට බාහිර රෝග ලක්ෂණ මතුවේ.

වයස්ගත පත්‍ර තැඹිලි පාට වී ගස් දිගේ එල්ලෙමින් පවතී. පසුව ඉහළින් ඇති පත්‍ර ද ක්‍රමයෙන් කහ පාට වී නටුව බිදී එල්ලා වැටේ. කඳ පලා බැලූ විට තද දුඹුරු පාට වී දුර්වර්ණ වී ඇත. පීදීම ආරම්භ වූ ගස් වලට වැළදුන විට සනාල පද්ධතිය අවහිර වි ඇති බැවින් ආහාර පරිවහනය ඇනහිටීමෙන් ගෙඩි ඇතුලත සිදුරු සහිතව පීරීම සිදු වේ. කැන් දුර්වර්ණ වී නටුවද දුඹුරු පාටවී ඵලදායි කැනක් ලබා දීමට අසමත් වේ.

රෝගය වැළඳුන ගස් වියලුනද මාස 1 - 2 පමණ වුවත් සෘජුවම ක්ෂේත්‍රයේම පවතී. රෝගී පඳුරු වල මොරෙයියන් පළමුව රෝග ලක්ෂණ නොපෙන්වා සිටියත් එම දිලීරයට හිතකර තත්වයක් ඇති විට නීරෝගී යැයි පෙන්නුම් කළ පැළයටද රෝගය වැළදේ.

මර්දනය

  • ලෝකයේ කිසිම රටක මෙය මර්ධනයට හෝ වළක්වා ගැනීමට සමත්ව නැත. කළ හැකි එකම දෙය රෝගය පාලනයයි.
  • ප්‍රතිරෝධී වර්ග වගා කිරීම.
  • මනා ජලවහන තත්ත්වයක් පවත්වා ගත යුතුය.
  • නිරෝගී පැළ භාවිතය හා දිලීර අඩංගු නොවන භූමියක වගා කිරීම.
  • දිගින් දිගටම රෝගයට පාත්‍ර වන වර්ග පමණක් වගා නොකොට ප්‍රතිරෝධී වර්ග සමඟ මාරුකර සිටුවීම.
  • පටක රෝපිත පැළ වලින් අලුතින් තවාන් ආරම්භකර ඒවායින් මතුවන සාම්ප්‍රදායික මොරෙයියන් සිටුවීමට යොදාගැනීම.
  • පැනමා රෝගය ඇති වූ බිමක් වසර 7 - 10 ක් පමණ ගතවන තුරු නැවත කෙසෙල් වගාවක නොයෙදිය යුතුය.

ඇවරිමුල කුණුවීම

බොහෝ විට මේ රෝගයට පසුඅස්වනු රෝගයක් වශයෙන් වැදගත් වේ. ඇවරි කපාගත් ස්ථානවල දුර්වර්ණ වී කුණු වීම සිදු වේ. පසුව මේවා ගෙඩිවල නටුවටද පැතිරී යයි.

ක්ෂේත්‍රයේදී කැන්මත තැම්පත් වී තිබෙන මෙම දිලීර බීජාණු ඇවරි කැපූ අවස්ථාවේ එම කැපුම් තුවාල මඟින් ඇවරි වලට ආසාදනය වේ. සමහර අවස්ථාවල ඇසිරීමට පෙර ඇවරි සේදීම සිදු කරන අතර එහිදී එකම වතුර ප්‍රමාණයක් දිගින් දිගටම භාවිතා කිරීම නිසාද රෝගය වැළදේ.

මර්දනය

  • කැන් වලට තුවාල නොවන සේ නිසි අවස්ථා වලදී අස්වැන්න නෙලීම.
  • පිරිසිදු ස්ථානයක තබා ඇවරි වෙන් කිරීම හා ගෙඩිවල සීරීම් ඇතිවීම වැළැක්වීම.
  • ඇවරි පිරිසිදු ජලයෙන් වෙන් වෙන්ව සේදීම.
  • ඇවරි කපාගත් පසුව ඒවාට තයෝබෙන්ඩසෝල් වැනි දිලීර නාශකයක් ඉසීම.
  • ඇසුරූ පසුව එම පෙට්ටි සෙන්ටිග්‍රේට් 13 - 15 පමණ උෂ්ණත්වයක ගබඩා කිරීම.

ඇන්ත්‍රැක්නෝස් රෝගය

දිලීර කාරකය - කොලෙට්‍රොට්‍රිකම් මියුසේ

ශ්‍රී ලංකාවේ වගා කරන කෙසෙල් ප්‍රභේද අතුරින් අළුකෙසෙල් මේ රෝගයට විශාල ලෙස පාත්‍ර වේ. මෙම රෝගය ප්‍රධාන ලෙස ලපටි කැන්වල සහ අස්වැන්න නෙලාගත් පසුව ඉදෙන අවස්ථාවේ ඇති ගෙඩිවල දැකිය හැකිය. දැනට වගා කරන ඕනෑම ප්‍රභේදයකට අයත් ගෙඩි ඉදෙන අවස්ථාවේ මේ රෝගයට පාත්‍ර විය හැකිය. උණුසුම් වියළි කාළගුණ තත්ත්ව යටතේ පැතිරීම වැඩි වේ.

සාමාන්‍යයෙන් කැනෙහි ගෙඩි වලින් මල් හැලී යාමටත් පෙර මෙම රෝග ලක්ෂණ දැකිය හැකිය. ගෙඩිමත තැම්පත් වන දිලීර බීජාණු පොත්ත තුලින් ගෙඩියට ඇතුල් වේ. දරුණු ලෙස හානි වූ විට ගෙඩි වියළී කළු වී යන අතර ඒවා මතුපිට රෝස පැහැති බීජාණු තිබෙණු දක්නට පුළුවන. කැනේ මැද නාරටිය වෙතද රෝගය පැතිරීමෙන් කැන මුළුමනින්ම වියළී ඇඹරී යයි. ආසාදිත කැන් සහිත ගස්වල පත්‍ර වලටද රෝගය පැතිරී පත්‍රවල කුඩා කළු ලප ඇති වේ.

මර්දනය

  • වියළි පරඩැල් සහ දිරායන කඳන් ආදිය ඉවත්කර වගාව පිරිසිදු කරන්න.
  • රෝගී කොටස් ඉවත්කර පුළුස්සා විනාශ කරන්න.
  • වගාවේ රෝගය බහුලව පවතිනවිට මුහයෙන් ඇවරි බේරීම ආරම්භවූ වහාම දිලීරනාශක නිර්දේශීත සාන්ද්‍රණය කැනට යොදන්න. මේ සඳහා බෙනොමිල් , මැනෙබ් , මැන්කොසෙබ්, කාබෙන්ඩයිම්වැනි දිලීර නාශක වඩාත් සුදුසුය.
  • කපාගත් කැන් තෙතමනය සහිත හොඳින් වාතාශ්‍රය නොලැබෙන අදුරු ස්ථානවල ගබඩා කිරීමෙන් වැළකිය යුතුය.
  • වාණිජ මට්ටමේ වගාවන්ගෙන් අපනයනය හෝ සුපිරි වෙළදපොල සඳහා යැවීමට ඇසිරීම් කරන්නේ නම් එම ඇවරි පෙට්ටිවල ඇසිරීමට පෙර ඒවාට තයෝබෙන්ඩසෝල් වැනි දිලීර නාශකයකින් ග්‍රෑම් 4 - 5 පමණ වතුර ලීටර් 8 - 10 පමණ දියකර ඉසීමෙන් මෙම දිලීර කාරකය ගෙඩිවල වර්ධනයවී ඇත්නම් ඒවා මර්ධනය කරගත හැකිය.


පත්‍ර ලප රෝග

දිලීර කාරකය - කොඩානා මියුසේ / කොඩානා රොන්ස්ටන්

කෙසෙල් වගාවන්හි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන එහෙත් ආර්ථික වශයෙන් හානියක් නැති රෝගයකි. මේ රෝගය ගසේ මේරූ පත්‍රවල අග කෙලවරින් වැඩි වශයෙන් දාරයට ආසන්න ප්‍රදේශයෙන් ආරම්භ වේ. ඕවලාකර ලප ඇතිවන අතර ඒවායේ මැද සුදු පාට වේ. පත්‍ර තලයේ නාරටිය ආසන්නව පුල්ලි වලින් තොර කොළ පාටින් දක්නට පුළුවන. ලප සහිත කෙළවර කොටස් කහ පාටටත් මැද කොටස් කොළ පාටටත් පැහැදිලිව දක්නට පුළුවන්. බීජාණු ව්‍යාප්ත වීම තෙත කාළගුණය සහිත කාල වලදී සිදුවේ.

මර්දනය

  • පත්‍රලප රෝගය දුටු වහාම පත්‍රයේ ආසාදිත ප්‍රදේශ කපා ඉවත්කර පුළුස්සා දමන්න.
  • වගාවට අධික සෙවණ තත්ත්වයක් වේ නම් හැකි පමණ හිරුඑළිය ලැබීමට සැළැස්විය යුතුය.

කළු සිගටෝකා පත්‍රලප රෝගය

දිලීර කාරකය - මයිකොස්පරෙල්ලා ෆිජියෙන්සිස්

පළමු රෝග ලක්ෂණය වන්නේ අග්‍රස්ථයේ සිට පහලට වූ 3 වන හෝ 4 වන පත්‍ර තලයේ යටි පැත්තේ හරිතක්ෂක පැල්ලම් ඇතිවීමයි. පසුව මේ පැල්ලම් සිහින් රතු දුඹුරු පාටටහුරු ඉරි බවට පත් වී ඒවා පත්‍රයේ ඇති කුඩා හරස් නාරටි වලින් ඉතා තියුණු ආකාරයට සීමා වේ. රෝගය දරුණු තත්ත්වයට පත්වූවිට පත්‍රයේ ආසාදිත ප්‍රදේශය තෙත් කළුවූ ප්‍රදේශ බවට පත් වේ. මෙය ලංකාවේ වර්තාවී නැත. නමුත් මේ රෝග තත්ත්වයට බෙහෝදුරට සමාන සෙප්ටෝරියා පත්‍ර ලප රෝගය අප රටේ දක්නට ඇත.

මර්දනය

  • පත්‍ර ලප රෝගය දුටු වහාම ආසාදිත කොටස් කපා ඉවත්කර පුළුස්සා දැමිය යුතුය.
  • වගාවට සෙවණ සහිත තත්ත්වයේ නම් හිරුඑළිය ලැබීමට සැලැස්විය යුතුය. මේ සඳහා පහළ පත්‍ර කපා දැමීම හා අවට ඇති ශාක වලින් ඇතිවන බාධා ඉවත් කිරීම ඉතා වැදගත්ය
  • විශාල ලෙස පැතිරී ඇතිවිට පත්‍ර කොටස් කපා පුළුස්සා දැමිය යුතුය. ආරක්ෂක ක්‍රමයක් ලෙස දිලීර නාශක යෙදීම යෝග්‍ය වේ.

කහ සිගටෝකා පත්‍ර ලප රෝගය

දිලීර කාරකය - මයිකොස්පරෙල්ලා මියුසිකෝලා

ගසේ අග්‍රස්ථයේ සිට තුන්වන හෝ හතරවන පත්‍රයේ පළමුවෙන්ම රෝග ලක්ෂණ ඇති වේ. මුලදී පත්‍ර දාරයේ හටගන්න කහ පාට ලප පසුව එකිනෙක හාවී දුඹුරු පාටට හෝ මලකඩ පාටට හුරු ප්‍රදේශ බවට පත්වේ. මෙම ලප හෝ ප්‍රදේශ පැහැදිලි කහ පාට රැස් වලල්ලකින් මායිම් වී ඇත. රෝගය දරුණු අවස්ථාවට පැමිණි විට පත්‍ර වියළී මැරී යනු ඇත. ලංකාවේ ආර්ථික හානිදායක මට්ටමට මෙම රෝගය ව්‍යාප්ත වී නොමැත.

මර්දනය

  • පත්‍ර ලප රෝගය දුටු වහාම පත්‍රයේ ආසාදිත කොටස් කපා පුළුස්සා දැමිය යුතුය.
  • හැකි පමණ හිරුඑළිය ලැබීමට සැලැස්විය යුතුය.
  • ආරක්ෂක ක්‍රමයක් ලෙස දිලීර නාශක යෙදීම යෝග්‍ය වේ.

බැක්ටීරියා රෝග‍

ගොබ හිරවීම

බැක්ටීරියා මඟින් ඇතිවන රෝග ලංකාවේ තත්ත්ව යටතේ එතරම් දරුණු ආකාරයට හානියක් සිදු නොවේ. සාමාන්‍යයෙන් දැකීමට හැකි වන්නේ ගොබ හිරවීමේ තත්ත්වයයි. වියළි කාළගුණ තත්ත්වයන් යටතේ සුළඟින් ගසාගෙනවිත් ඈතින් පිහිටි පත්‍ර අතරේ රැදී පවතින දූවිලි සහ කොළරොඩු කැබලි වර්ෂාව වැවෙන විට ක්‍රමයෙන් කුණුවීමට පටන් ගනී. පසුව එය කඳ තුලට ඇතුල් වී ගොබය හිරවීමක් දක්නට ලැබේ.

මොකෝ රෝග‍ය

දැනට ලංකාවේ දක්නට නොමැති මෙම රෝගය කෙසෙල් වගාකරන සමහර රටවල මාරාන්තික රෝගයකි. මෙහි රෝග කාරකය වනුයේ ඩියුඩොමොනාස් සොලන්සියාරුම් නැමති බැක්ටීරියාවෙහි විශේෂ මාදිලියකි.

මෙහි රෝග ලක්ෂණ වන්නේ ගසේ පළමු පත්‍ර කහපාටවී නටුවෙන් එල්ලා වැටීමයි. කදේ සනාල පටක දුඹුරු පාටට හැරේ. කඳ කැපුවිට දියරයක් වැස්සීම දක්නට ලැබේ. කෙසෙල් මුහය සමහරවිට කළුපාට වන අතරම බැක්ටීරියා අඩංගු දියරය කෙසෙල් මුහයෙන් වැසීම සිදු වේ.

මර්දනය

  • අසාදිත ශාක අවට ඇති පඳුරු කිහිපය සහ වල් පැලෑටි සියල්ල ගලවා පිරිසිදු කළ යුතුය.
  • ආසාදිත පඳුරු වලින් මොරෙයියන් සිටුවීමට යොදා නොගත යුතුය.
  • අසාදිත ප්‍රදේශය වල් පැලෑටි වලින් තොරව තබා ගැනීම.
  • මෙය වැළදුණවිට ප්‍රතිකර්මයක් නොමැති අතර එය වළක්වා ගැනීම වැදගත් වේ.


වෛරස් රෝග‍

කෙසෙල් වදපීදීම

කෙසෙල් වගාවට වැළදෙන බහුල මෙන්ම ඵලදාවක් ලබා ගැනීමට කිසිසේත්ම නොහැකි රෝගයකි. වෛරසය ප්‍රාථමික හා ද්විතීක වශයෙන් ආසාදනය වීමට පුළුවන. එනම් රෝගී පඳුරු වලින් ලබා ගන්නා පැළ සිටවූ වහාම රෝග ලක්ෂණ පෙන්වයි. මෙය ප්‍රාථමික ආසාදන වේ. මෙහිදි අග්‍රස්ථයේ ඇති පත්‍ර පටුවී කුණුවී හරිතක්ෂයවී කුණුවී උඩට පිහිටයි. මෙහිදී වර්ධනයක් සිදු නොවේ.

ද්විතීක ආසාදනයේදී වෛරසය පතුරුවන පෙන්ටලෝනියා නිග්‍රනවෝසා නැමති කූඩිත්තා මඟින් රෝගී ගස් වලින් නීරෝගී ගස් වලට වෛරසය ඇතුල් වන නිසා රෝග ලක්ෂණ මතු වේ. එවිට අළුතින් ඇතිවන පත්‍ර පටු වන අතර ඒවායේ මැද නාරටියේ සහ හරස් නාරටි වල තද කොළපාට ඉරි ඇති වේ.

මෙවැනි ගස්වල ගොබය හිරවිමක්ද සිදුවේ. මේ ගස්වල පීදීමක් සිදු නොවූ ගසක් නම් කැන් පීදීම සිදු නොවේ. පීදීම ආරම්භ වූ ගසක් නම් කැන් වර්ධනය සිදු නොවේ. ගොබය හිරවුවහොත් මතුවෙමින් පවත්නා කැනට එළියට මතුවීමට අපහසු බැවින් කදෙහි කුමන හෝ ස්ථානයක් පලාගෙන එම ස්ථානයෙන් කැන එළියට මතුවේ.

මර්දනය

  • රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැළකිලිමත් වීම වැදගත්ය.
  • ආසාදිත ශාක ගලවා පුළුස්සා දැමිය යුතුය. ගලවා ඉවත්කර වලටද කොළරොඩු දමා පුළුස්සා වලතුල ගහනයක් වශයෙන් පවත්නා කූඩිත්තන් විනාශ කළ යුතුය.

පිපිඤ්ඤා විච්ත්‍ර වෛරස් රෝග‍ය

විවිධ පරිසර තත්ත්වයන් යටතේ පිපිඤ්ඤා විච්ත්‍ර වෛරස්හී විවිධ මාදිලි මඟින් මේ රෝගය ඇති වේ. රෝග ලක්ෂණ වෛරස් මාදිලිය, පරිසරයේ උෂ්ණත්වය ධාරක ශාකයේ ආකාරය අනුව වෙනස් වේ. පත්‍රයේ හරස් නාරටි දිගේ කහපාට ඉරි වැනි ලක්ෂණ මතු වේ. පසුව රෝගය වර්ධනය වීමත් සමඟ ඒවා හරිතක්ෂය වූ ඒවා බවට පත්වේ. නාරටි ඝණවීමත් උඩු අතට රෝල් වීමක්ද සිදුවේ.

පරිසර උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේට් 24 වඩා අඩු වූ විට අමතර පීඩාවක් ඇති වන බැවින් එයත් පත්‍ර විශේෂයෙන් ගොබය සහ මධ්‍ය සිලින්ඩරය වියළීමට පුළුවන්. මේ රෝගය බෝවීම කූඩිත්තන්ගෙන් සිදුවන අතර කුකර්බිටේසියේ සහ සොලනේසියේ ශාක වලට වැළදේ.

අසාදිත ගස්වල ගොබය හිරවීමත් කැන වර්ධනය නොවීමත් මතුවූ කැන් විකෘති වීමක් සිදුවේ. කැන් මතු වූ පසුව රෝගය වැළදුන විට ගොබ හිරවී කුඩා වී ඇහිරීමෙන් විකෘති වී මතු වෙයි.

මර්දනය

  • රෝගී පැළ වලින් පැළ සිටුවීමට යොදා නොගැනීම.
  • යටි වගාවක් වශයෙන් කුකර්බිටේසියේ සහ සොලනේසියේ ශාක වගා නොකිරීම.
  • ක්ෂේත්‍රය හැකි පමණ වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම.
  • රෝගී ගස් ගලවා පුළුස්සා විනාශ කිරීම.

කෙසෙල් ඉරි වෛරස් රෝග‍ය

බෙඩ්නා වෛරස් කාණ්ඩයට අයත් සාමාජිකයෙකුගෙන් මෙම රෝගය බෝවීම සිදුවේ. පත්‍ර තලයේ හරස් නාරටි වලට සමාන්තරව කහපාට කඩ ඉරි ඇති වී පසුව පළල් පැල්ලම් වශයෙන් ද විච්ත්‍රයක් ආකාරයට ඇති වෙයි. පත්‍රය වයස්ගත වෙත්ම මෙම ඉරි දුඹුරු පාට වී පසුව කළු පාටට හැරේ. ගොබය හිරවීමද පත්‍ර නාරටි ප්‍රමුඛ වී ඝනවීමද සිදු වේ. ගස් වල දිරිය අඩු වීමත්, කැන් කුඩා වීමත් සිදුවේ. වයස්ගත වෙත්ම මේ ලක්ෂණ ප්‍රමුඛ වේ.

මෙම රෝගයේ වාහකයා වශයෙන් ගැනෙත්‍රයේ පිටිමකුණාය. කෙසේ වුවද මෙම රෝගය මූලික වශයෙන් පැතිරීම සිදු වනුයේ රෝගී පඳුරුවලින් ලබා ගන්නා මොරෙයියන් මඟිනි.

මර්දනය

  • නීරෝගී මොරෙයියන් භාවිතය.
  • ආසාදිත ශාක ගලවා විනාශ කිරීම.
  • මර්ධන ක්‍රමයක් වුවත් ප්‍රායෝගිකව මේ රෝගයට මුහුණ දිමේ ක්‍රමයක් වශයෙන් වාර්ෂික කෙසෙල් වගා ක්‍රම හදුන්වා දිය හැකිය.

කෙසෙල් මුව විච්ත්‍ර වෛරස් රෝග‍ය

මෙය පොටි වෛරස් වශයෙන් හඳුන්වනු ලබන වෛරස් ආකාරය මඟින් ආසාදනය වන බව සොයාගෙන ඇත.

රෝග ලක්ෂණ ගස්වල ක‍දේ, පත්‍රවල සහ කෙසෙල් මුහයේ ප්‍රමුඛව දක්නට ලැබේ. කදේ විශේෂයෙන් පහළ කොටසේ අසාමාන්‍ය දියමන්ති ආකාර දිගටි රතු පැහැති පැල්ලම් ඇතිවේ. ඇතුලත පිහිටි පත්‍ර පාදයන්හී වඩාත් ප්‍රමුඛය. ඇතැම් විට පත්‍ර පාද පහළින් දිග අතට පිපිරීමක් ද සිදුවේ. ගහේ පත්‍ර බෙදීම සිදුවන ඉහළ කොටසේ රතු පාට සායම් තැවරූ ආකාරයට සලකුණු ඇති වේ.


මැද නාරටිය දිගට රතුපාට කඩ ඉරි ඉතා පැහැදිලිව දිස්වේ. කෙසෙල් මුහයේ කොලපු වල කහ සහ කළු පාටින් විච්ත්‍රයක් ඇති වේ. ඇතුලත කොළපුවල පැහැදිලිව දක්නට ඇති අතර මෙරෙයියන් හටගැනීමද වේගවත් වේ. නමුත් එම මොරෙයියන් වර්ධනය බාල වේ.

කායික රෝග

කායික රෝග‍ අභ්‍යන්තර දුර්වර්ණ වීම

විශේෂයෙන් ඇඹුල් සහ කොලිකුට්ටු වගාවන්හී පමණක් මේ වන විට රෝග තත්ත්වය වාර්තාවී ඇත. බාහිරින් රෝග ලක්ෂණ නොමැති වුවත් ගෙඩියේ අභ්‍යන්තරයේ මදය දුර්වර්ණ වීමක් වෙයි. මෙය දක්නට ඇත්තේ දැඩි වියළි කාලවලදී එනම් ජල හිඟ, අධික වායුගෝලීය උෂ්ණත්ව සහ අධික සූර්යාලෝක තීව්‍රරතාව යටතේ පීදීම ආරම්භ වූ කැන්වල දක්නට ඇත. මෙම කාලවලදී මතුවන කැන්වලට ආවරණ යෙදූ විට තත්ත්වය උග්‍ර වේ. එසේම අස්වැන්න නෙලීම හොඳින් පැසීම දක්වා ප්‍රමාද නොකර සති 02 පමණක්වත් කලින් නෙලාගත යුතුයි.

ව්‍යාජ පැනමා රෝග‍ය

ප්‍රධාන වශයෙන් පහළ පත්‍ර කහ පාට වී පත්‍ර දාර වියළී ගොස් පසුව පත්‍ර මැරී යයි. කඳ කපා බැලූ විට යම් යම් ප්‍රදේශ දුඹුරු පාට වී තිබේ. නමුත් මෙහි දික් අතට කඳ කපා බැලූ විට දුඹුරු පාට කොටස් පැනමා රෝගයේදී මෙන් අඛණ්ඩව දක්නට නොලැබෙන අතර එය තැනින් තැන දුර්වර්ණ වීම දක්නට ලැබේ.

මර්දනය

  • කදේ පහළ කොටසේ සිදුවන පිපිරීම් තුවාල මනාව පිරිසිදු කර දිලීර නාශකයක් ආලේප කළ යුතුය.
  • තවද පාංශු දිලීර නාශකයක් (රිඩෝමිල්, හෝමායි) දියකර කඳ දිගේ බේරී යන ලෙස පොළවට වැටෙන සේ යෙදිය යුතුය.
  • වගාවේ ජල වහනය හැකි පමණ දියුණු කළ යුතුයි.

ගෙඩි පිපිරීම

කෙසෙල් ගෙඩි පිපිරීම හේතු කිහිපයකට සිදුවේ. එනම් අනුවර්තනය නොවූ ප්‍රභේද වගා කිරීම, අක්‍රමවත් ජල සම්පාදනය, අනවශ්‍ය පරිදි ජලය උරා ගැනීමට සැළැස්වීම එවිට ගුණාත්මය අඩු වන අතර ද්විතීක ආසාදන මඟින් ගෙඩි කුණුවීමටද පුළුවන.


නයිට්‍රජන් ඌනතාවය

පත්‍ර ලාකහ පාටට හුරු කොළ පාට වන අතර පත්‍ර පාදය මැද නාරටිය සහ පත්‍ර ලාකහ පාටට හුරු කොළ පාට වන අතර පත්‍ර පාදය මැද නාරටිය සහ පත්‍ර නටුව රෝස පාට වේ. පත්‍ර අතර පරතරය අඩු වී පත්‍ර ගොණුව වර්ධනය බාල වේ. ගස සිහින් කුරු වූ තත්ත්වයට පත්වේ.

පොස්පරස් ඌනතාවය

පොස්පරස් ඌනතාවය එතරම් ප්‍රමුඛ නොවේ. මෙය හිඟවූ විට මුල් වර්ධනය අඩුවී පත්‍රවල දාර වලින් ඇරඹෙන හරිතක්ෂය වීම සහ දුඹුරු පාටට හුරු දම්පාට නෙරුම් ඇති වී ඒවා පත්‍ර පාද දක්වා විහිදී යයි. මේ නිසා කියතක දැති ආකාරයට වියළීම් සිදු වේ.

පොටෑසියම් ඌනතාවය

ඉතාම වැදගත් පෝෂණ මූලද්‍රව්‍ය වේ. පත්‍ර තැඹිලි පාටට හැරීම ප්‍රධාන ලක්ෂණය වේ. ප්‍රථමව පත්‍ර දාරවලින් ආරම්භ වී පත්‍රය පුරාවට පැතිරී යයි. මේරූ පත්‍ර පළමුව කහපාට වේ. ඉතා ඉක්මනින් වියළී යයි. මැද නාරටිය වක්‍රවන අතර පත්‍ර අඟ පොළව දෙසට යොමුවූ ස්වභාවයක් දක්වයි. ගොබය හිරවීම, ගෙඩි සංඛ්‍යාව හා ප්‍රමාණය කුඩාවීම සිදු වේ.

ගොබ හිරවීම

දැඩි නියගය, අධික උෂ්ණත්වය නිසා ගොබ හිරවීම සිදුවේ. මේ අවස්ථාවේ කැන් වර්ධනය වෙමින් කඳ තුල ඇත්නම් කඳ පැලී පහසු තැනකින් කැන එළියට මතුවේ.

මෙවැනි අවස්ථාවල බාහිර බලපෑම් අඩුකර ගැනීමට වසුන් යෙදීම, ජල සම්පාදනය, කඳ කපා නැවත වර්ධනය වීමට ඉඩ සැලසීම වැනි ක්‍රම අනුගමනය කල හැක.

අස්වැන්න සහ පසු අස්වනු තාක්ෂණය

කෙසෙල් අවුරුද්ද මුළුල්ලේම ඵල ලබා ගත හැකි රසයෙන් හා පෝෂණීය තත්ත්වයෙන් උසස් පළතුරකි. ප්‍රමාණය ඉක්මවා මේරූ කෙසෙල් කැන් කැපීම අප රටේ සිදුකරන සාමන්‍ය සිරිත වේ. එසේ කිරීමෙන් ගෙඩි පැලීම නිසා ඇති වන හානිය මෙන්ම ප්‍රවාහනය කරන කාලය තුලදී ඉදීම හා තැලීමෙන් නාස්ති වීමට ඇති හැකියාවද වැඩිය. තවද සිදු වන සීරීම් මඟින් ඉදුණු ගෙඩි වල ආකර්ෂණීය බව අඩු කරයි. මේ නිසා පාශ්චාත් අස්වනු හානිය අධිකය. මෙය අවම කර ගැනීමට ක්‍රම කිහිපයකින් සිදු කර ගත හැක.

අස්වනු නෙලන අවධිය

යම් කෙසෙල් වර්ගයක පීදීමේ සිට ගෙඩි සෑදීමට ගත වන කාලය නිශ්ච්තය. වියළි කලාපයේ මෙය ආසන්න වශයෙන් සති 12ක් පමණ වේ. කෙසෙල් ගෙඩි කොළ පැහැයේ සිට ලා කොළ පැහැයට හැරෙන විටද, ගෙඩිවල දාරමය ස්වභාවය පහව ගියවිට ගෙඩි මේරීම බොහෝ විට සිදු වේ. අස්වනු නෙලීම සඳහා යෝග්‍ය කාලය වන්නේ මල් පිපීමෙන් සති 12 කට පසුවය. අස්වනු නෙලීම සවස් වරුවේ සිදුකළ යුතුය.

කෙසෙල් කැන පරිනත වීම ප්‍රභේදය අනුව නියමිත දින ගනනකින් සිදුවේ.

කෙසෙල් වර්ගය

කාලය

ආනමාළු හා ඇම්බන්

මාස 03

ඇඹුල්

මාස 03 සති 01

කෝලිකුට්ටු

මාස 04

සීනි කෙසෙල්

මාස 04 සති 02

පූවාළු

මාස 05


පවතින දේශගුණික තත්ත්වය යටතේ සිටවූ පැළ වල දිරිය හා නඩත්තු කටයුතු මෙම කාලසීමාවට වෙනස් විය හැකිය.

ඇසිරීම හා ප්‍රවාහනය

කෙසෙල් කැන් වශයෙන් ලොරිවල හරස් අතට පැටවීම සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රමය වේ. මෙහිදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීමට ලොරිය පතුලට හා පැති වලට කුෂන් එකක් දැමිම ද කෙසෙල් කැන් තට්ටුවකටම පොලිතීන් හෝ ස්ටයිරෝපෝම් ස්ථරයක් යෙදීම මඟින් එකට ඇතිල්ලීමෙන් සිදුවන හානිය අවමකර ගත හැක.

ප්‍රවාහනය සඳහා යොදාගත යුත්තේ හොදින් වාතාශ්‍රය සිදු වන ලොරියකි. අධික වේගයෙන් ධාවනය නොකළ යුතු අතර එකවර තිරිංග යෙදීමද සිදු නොකල යුතුයි. උදේ කාලයේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රවාහනය සිදුකළ යුතුය.

කෙසෙල් ඉදවීම

මේ සඳහා ඉදවීමේ කුටියක් භාවිතා කරන්න. එතලින් වායුව ලබා ගැනීම සඳහා එත්‍රල් මි.ලී. 01 ක් ජලය ලීටර් 01 දියකර ද්‍රවණයක් සාදාගත යුතුය. ඉදවීමේ කුටීරයෙහි ඝන අඩි 01 කට මෙම ද්‍රවණයෙන් මි.ලී. 3 - 5 වන සේ ප්ලාස්ටික් භාජනයකට දමා කුටීරය තුල තබන්න. ඉදීමට අවශ්‍ය කෙසෙල් කුටීරය තුල තැම්පත් කරන්න. දොර වැසීමට පෙර සාදාගත් හුණු දියරයෙන් එත්‍රල් ද්‍රවණයට සමාන පරිමාවක් ගෙන එත්‍රල් භාජනයකට කළවම්කර දොර වසා පැය 24 කාලයක් තබන්න. (වෙළඳපොලේ ඇති හුණු ග්‍රෑම් 10 ක් ජලය ලීටරයක දියකර ගැනීමෙන් හුණු ද්‍රවණයක් සාදා ගත හැක) පැය 24 න් පසු දොර විවෘතව තබා වාතාශ්‍රය ලැබීමට ඉඩ සලස්වන්න. මෙවිට දින 02 ඇතුලත කෙසෙල් ගෙඩි ඉදීම සිදු වේ.

කෙසෙල් ආශ්‍රිත නිෂ්පාදන
පත්‍ර ආශ්‍රිත ආහාර දවටන සැකසීම

සාම්ප්‍රදායිකව ආහාර දැවටීම සඳහා යොදාගන්නා කෙසෙල් පත්‍ර වෙනුවට කල්තබාගත හැකි පදම්කරන ලද ආහාර දවටන සකස්කරගත හැකිය. මේ සඳහා භාවිතා කළහැකි ඉතා සරල සහ පහසු ක්‍රම දෙකක් වේ.

පළමු ක්‍රමය

පත්‍රයේ මැද නාරටිය දිගේ පත්‍රතලය අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන පිරිසිදු ඇල් ජලයෙන් සෝදාගත යුතුය. ඉන් පසුව නටන ජලයෙහි තත්පර 1 - 2 ගිල්වා ඉවතටගෙන වහාම ඇල් ජලයට මාරුකර ඉන් ඉවතට ගෙන පවනේ පැය 4 - 6 දක්වා වියළා ගත යුතුය. එවිට ඒවා මනාව පදම්වී නොඉරෙන තත්වයට පත්ව ඇත.

දෙවන ක්‍රමය

මැද නාරටිය වෙන්කර අවශ්‍ය ප්‍රමාණයට කපාගත් කැබලි පිරිසිදු ජලයෙන් සෝදා පළමුව සූදානම් කරගත යුතුය. ඉන්පසුව කට පළල් බඳුනකට රෙදිකැබැල්ලක් ගැටගසා එම බඳුනට වතුර දමා හොඳින් නටවාගත යුතුය. එවිට හුමාලය රෙදිකඩ හරහා උඩට එනවිට සෝදාගත් කෙසෙල් පත්‍ර කැබලි එම රෙදිකඩ උඩින් තබා පියනකින් වසා හුමාලයෙන් විනාඩි 1 1/2 - 2 පමණ තම්බා ගන්න. ඉන්පසුව එම කොළ කැබලි ඉවත්කර පවනේ වියළා ගත යුතුය.

මේ කුමන ආකාරයකට පදම් කළද එම කැබලි පවනේ වියළාගත් පසුව අසුරා තබාගත හැකිය. මේ දවටන ශීතකරණයක මාස 01 පමණද සාමාන්‍ය තත්ත්වයේදී දින 5 - 7 පමණද තබාගත හැකි වේ.

මෙම පදම්කල ආහාර දවටන අවශ්‍ය නම් නැවත සෝදා භාවිතා කිරීමටද පුළුවන. මේවා පෙට්ටිවල කෑම අසුරනවිට පෙට්ටිය තුලට එලීමටද යොදාගත හැකිය.

B )
කෙසෙල් පත්‍රවලින් පිඟන් සැකසීම

පදම්කරගත් පත්‍ර කොටස් අවශ්‍ය හැඩයේ පිඟන් ආකාරයට හැඩගස්වා ගැනීම කළ යුතුය. ඒ සඳහා කැමති හැඩයකින් පිඟන් දෙකක් අතරට පදම්කළ කෙසෙල් පත්‍ර තට්ටු 3 - 4 පමණ එකට අලවා තදකරගත යුතුය. සව් කැඳ වශයෙන් උයාගෙන ඒවා තවරා කෙසෙල් පත්‍ර තට්ටු අලවාගත යුතුය. ඉන්පසුව ඒ සඳහා නිර්මාණය කළ විශේෂ උපකරණයක් හෝ වෙනත් ක්‍රමයක් යොදාගෙන පිඟානක හැඩයට නිර්මාණය කරගත යුතුය. ඉන්පසුව එම සැකැස්ම ජල භාජනයක (Water bath) විනාඩි 2 - 3 පමණ රත්කර පසුව ඇල් ජලය සහිත බඳුනකට ගිල්වා එහිද විනාඩි 2 - 3 තබා ඉවතට ගෙන පිඟන් අච්චුවෙන් ගලවා ඉවතටගත යුතුය.

මෙම පිඟන් පවනේ වියළා ශීතකරණයක සති 3 - 4 දක්වා තබාගත හැකිවේ. පිඟන් සෑදීම සඳහා ආහාර දවටන කපාගැනිමේදී ඉතිරිවන කැබලිද, ඉදුනු පත්‍රද, වියලුනු පත්‍රද, සුළඟින් ඉරීගිය කුඩා පත්‍ර කැබලිද පිඟන් නිර්මාණය සඳහා යොදාගත හැකිය.

වියළි කළාපයේ සුළං අධික ප්‍රදේශවල පත්‍ර ඉරීම නිසා පත්‍රතලය ආහාර දවටන සෑදීමට භාවිතාකළ නොහැකි අතර එවැනි පත්‍ර පිඟන් සෑදීමට යොදාගත හැකිය.

කෙසෙල් පත්‍රවල මැද නාරටිවලින් නිර්මාණ සැකසීම.

කෙසෙල් කැන් ආවරණ, කූඩ, අත්කම්, බිත්ති සැරසිලි, හැදි ආන සහ විවිධ විසිතුරු නිර්මාණ කෙසෙල් පත්‍ර නාරටිවලින් නිර්මාණය කළ හැකිය.

කෙදි ආශ්‍රිත නිෂ්පාදන

කෙසෙල් ගසේ අස්වැන්න නෙලාගත් පසුව ඉතිරිවන කඳ කොටස් ඉතා ශක්තිමත් කෙඳි නිස්සාරණය කරගත හැකිය. සාමාන්‍යයෙන් කෙඳි කිලෝ ග්‍රෑම් 10 යෙන් වියළි කෙඳි කිලෝ ග්‍රෑම් 01 ක් පමණ ලබාගත හැකිය. මේ සඳහා විශේෂයෙන් නිෂ්පාදිත උපකරණයක් මඟින් හෝ පිහිතලයක් වැනි උපකරණයකින් වෙන්වෙන් වශයෙන් කෙසෙල් පීලි සුරාගැනීමෙන් හෝ කෙඳි වෙන්කරගත හැකිය. මේවායින් ඉතා වටිනා අත්කම් භාණ්ඩද මුහුදු වතුරට ඔරොත්තු දෙන ශක්තිමත් ලණු සහ කබ අඹරාගැනීමටද යොදාගත හැකිය.